නිෂ්පාදන අලෙවි කර ගැනිමට අවැසි වෙළෙඳපොළක් ප‍්‍රදේශයේ නෑ


කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමත් ප්‍රශ්නයක්


නිෂ්පාදන පිරිවැය ආවරණය වන මුදලවත් සොයාගන්න අපහසු තත්වයක්


විදේශීය රටවලින් මෙරටට ආනයන කරන ප‍්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළෙඳපොළේ අඩු මිලට අලෙවියත් ගැටලු‍වක්


අත්උදව්කරැවෙක්ට දවසකට රුපියල් 2500/-ක්


හසලක සුනිල් ඒකනායක


ග‍්‍රාමීය කම්මල් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතාව, එම කර්මාන්තය සඳහා ශ‍්‍රම බළකායක් නොමැතිවීම සහ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේ ඉල්ලුම අඩුවීම වැනි කරුණු හේතුවෙන් ස්වයං රැකියාවක් වශයෙන් කම්මල් කර්මාන්තයේ යෙදෙන මිනිපේ කම්මල්කරුවෝ දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කියති.

සිංහල රජ සමය දක්වා ඈත අතීතයකට දිව යන කම්මල් කර්මාන්තයෙන් රජුගේ සේවයට අවි ආයුධ, ගොවියාට, කර්මාන්තකරුවාට සහ ගෘහයට අවශ්‍ය ගෘහ උපකරණ සැකසු මෙම කම්මල්කරුවාට අද අත්ව ඇත්තේ ඉතා අවාසනාවන්ත ඉරණමක් බව ද මිනිපේ එම කර්මාන්තයේ නියුතු වන්නෝ පවසති. 

රජ දවස රාජ්‍ය බළකා සේනාවට නැතිවම බැරි ආයුධයක් වු තුවක්කුව, කඩුව, දුන්න, ඊතලය ඇතුළු විවිධ වර්ගයේ ආයුධ සැපයීම මෙන්ම ගොවියාට හේනේ, කූඹුරේ, ගෙවත්තේ මෙන්ම ගෘහණියගේ නිවසේ විවිධ කටයුතු සඳහා අවැසි උපකරණ සැකසීමද කම්මල්කරුවා අතින්ම සිදුවිය. එදවස මෙම කර්මාන්තයට ඉහළ ඉල්ලූමක් මෙන්ම ප‍්‍රසිද්ධියක් ද තිබීම නොරහසකි.

හසලක මංජුල පියසේන මහතා:- කම්මල ආශ‍්‍රීතව රැකියාව කළ විශාල පිරිසක් එම කර්මාන්තයෙන් ඉවත් වෙලා. එදා සී සෑමට යකඩ නගුල, ගොයම් කැපීමට දෑකැත්ත, කමතේ කටයුතු සඳහා අවශ්‍ය උකුණු දැත්ත, හේනේ සහ ගෙවතු ආශ‍්‍රිත කටයුතු සඳහා කැත්ත, පිහිය, පොරව, උදැල්ල සහ අලවංගුව (යකඩ ඉන්න) ඇතුළු ගොවියාගේ කෘෂි නිෂ්පාදන සඳහා එකල විශාල ඉල්ලූමක් පැවතියා. කම්මල්කරුවාගේ සේවය අද එම ගොවියාට අවශ්‍ය නෑ. කෘෂි කර්මාන්තයට නවීන යන්ත‍්‍ර සුත‍්‍ර ලැබීමත් මෙම උපකරණ සඳහා පෙර මෙන් ඉල්ලුමක් නෑ.

මෙම නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවැසි වෙළෙඳපොළක් ප‍්‍රදේශයේ නෑ. කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට පහසුකම්ද  ප‍්‍රදේශයේ නෑ. වත්මන් තරුණයා මෙම උපකරණ ආශ‍්‍රීතව කරනු ලබන ගොවිතැන් කර්මාන්තයෙන් ඉවත් වීමත් ගැටලු‍වක්. 

මෙම නිෂ්පාදනයට අවශ්‍ය දුනුකොළ එදා ඉතා පහසුවෙන් සහ අඩු මිලකට ලබා ගත්තද, අද ඇතැම් කණ්ඩායම් හෝ පුද්ගලයන් ගෙන් ගෙට ගොස් අබලි යකඩ ද්‍රව්‍ය හා පොල් කටු මිලට ගැනීම නිසා එදා තමන්ට මේ දේවල් රැගෙනවිත් දුන් අය එයින් ඉවත් වී ඇති බව ඔවුහු පවසති.

එපමණක් නොව විදේශීය රටවලින් මෙරටට ආනයන කරනු ලබන තහඩුවලින් සහ බාල ලෝහවලින් නිෂ්පාදිත ප‍්‍රමිතියෙන් තොර පිහිය, රේක්කය, කැත්ත ආදිය වෙළෙඳපොළේ අඩු මිලට අලෙවියට තිබීම නිසා ඒ කෙරෙහි පාරිභෝගිකයා යොමු වීමත් මෙම කර්මාන්තයට හානියකි.

එමෙන්ම දුනුකොළ උණු කර ගැනීමට යොදා ගන්නා පොල් කටුවල  මිල ද අද ඉහළ ගොස් තිබෙන නිසා ඒ ආශ‍්‍රීතවද ගැටලු‍ පවතී. අධික මිලකට දුනුකොළ හා පොල් කටු වැනි දෑ මිලට ගත්තත් එයින් නිෂ්පාදනය කරන උපකරණ අලෙවි කිරීමෙන් නිෂ්පාදනයට වැය වු මුදලවත් ලබා ගැනීම අසීරූ වී තිබේ.

මිනිපේ ගොවි ජනපදයේ ගම්මාන ගණනාවක කම්මල් කර්මාන්තය එදා දැක ගන්නට ලැබුණත් අද එය කර්මාන්ත හතර - පහකට පමණක් සීමා වී ඇති බවද ගම්වාසීහු පවසති. මේ නිසා කම්මලක සේවය ලබාගැනීමට සැතපුම් ගණනාවක් දුර ගෙවා යාමට සිදුව තිබේ.

මෙම කරුණු කාරණා හේතුවෙන් දැනට කම්මල් කර්මාන්තයේ නියුතු පාරම්පරික කර්මාන්තකරුවන් පවසන්නේ මේ පරපුරෙන් පසු නව පරපුරක් බිහි නොවන්ට ඇති බොහෝ ඉඩ ඇති බවය. 

පාරම්පරික කම්මල් කර්මාන්තයේ නියුතු උල්පතගම පදිංචි බි.ජි. සිරි මහතා මෙසේ පැවසීය.

මම පාරම්පරික කම්මල් කර්මාන්ත පරපුරකින් පැවත එන කෙනෙක්. අපිට මේ කර්මාන්තය පවත්වාගෙන යාමේදී ගැටලු‍ රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන් නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය මිලට ගැනීම, කම්මලේ කටයුතුවලට අත්උදව්කරුවන් නොමැති වීමත් ගැටලු‍වක් වී තිබෙනවා. අත්උදව්කරුවෙක් ගත්තොත් ඔහුට දවසකට රුපියල් 2500/-ක් විතර මුදලක් දෙන්න වෙනවා. දෛනිකව එවැනි මුදලක් ගෙවලා කෙනෙක් ගන්න අමාරුයි. ඒ තරම් වැඩ අද ඇත්තෙත් නැහැ. වැඩක් කර ගන්න කලාතුරකින් තමයි කෙනෙක් එන්නේ. යායේ ගොයම් කපන කාලේට නම් දෑකැත්තක්, උකුණු දැත්තක් හෝ පිහියක් හදාගන්න ගොවි මහත්තුරු එනවා. ඒ දවස්වලට නම් ඔන්න කීයක් හරි ආදායමක් ලැබෙනවා. එදා හේන් ගොවියාට අවශ්‍ය කැත්ත, උදැල්ල වැනි දෑ හදා ගන්න ආවා. අද හේන් ගොවි තැන නැති නිසා ඒ වැඩෙත් අපෙන් ඉවත් වුණා. 

ඒ වාගේම තමයි මේ නිෂ්පාදනයට නිසි වෙළෙඳපොළක් නොමැතිකම ප‍්‍රධානයි. අපි ඉතා දුක් මහන්සියෙන් පිහියක්, කැත්තක්, පොරවක්, උදැල්ලක් නිෂ්පාදනය කරලා ඒවා අරගෙන වෙළෙඳපොළට ගියාම ඉල්ලන්නේ සොච්චම් මුදලකට. මේවා අරගෙන කිලෝ මීටර් 20-30 වැනි දුර ප‍්‍රදේශවල පිහිටි සති පෙළවල්වලට අරගෙන යනවා. එහෙම ගිහිල්ලා බඩු ටික අපේ ගාණට අලෙවි කර ගන්න බැරි වුණාම මුදලාලි කෙනෙක් ඉල්ලන මුදලට බඩු දීලා එන්න එනවා. සමහර දවස්වල බඩු නිෂ්පාදනය සඳහා ගිය මුදල හෝ අපේ දින කීපයක මහන්සියවත් මේවා එහෙම විකුණුවාම ලැබෙන්නේ නැහැ. 

අභාවයට යමින් තිබෙන පාරම්පරික කම්මල් කර්මාන්තය රැක ගැනීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කිරීම කාලෝචිත වෙනවා. ඒ වාගේම නිසි වෙළෙඳපොළක් ඇති කරන්න  ඕන. අවශ්‍ය අමුද්‍රව්‍ය සහන මිලකට ලබා ගැනීමට ක්‍රමවේදයක් සකසන්න  ඕන. එහෙම වුණොත් තවදුරටත් මේ කර්මාන්තය අපේ රටේ වාගේම මිනිපේ ගොවි ජනපදයේත් රැකේවි. 

පරිසරවේදි ඩබ්ලිව්.ඒ.එම්. විජේසිංහ මහතා:- කම්මල් කර්මාන්තයට ලබා ඇති කල දසාව දිහා බැලූවාම අපිට හරිම දුකක් ඇති වෙනවා. එදා මේ කම්මල්කරුවා සමාජයේ උසස් පිළිගැනීමකට ලක් වුණා. මොකද මොහු ගැමියාට, ගෘහණියට, ගොවියාට, ව්‍යාපාරිකයාට නැතිවම බැරි පුද්ගලයෙක් වුණා. නිවසට අවශ්‍ය බොහෝ උපකරණ මෙයා අතින් නිෂ්පාදනය වුණා. ගොවියාගේ කෘෂි කර්මාන්තයට මොහුගෙන් ලැබුණේ අති විශාල සේවයක්. මේ ඉල්ලූම නිසා එදා කම්මල්කරුවාට හොඳ ආදායමක් තිබුණා. අනුන්ට අත පෑවේ නැහැ. අද ඒ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ නිසා අද ඔහුට සිදුව ඇත්තේ තම නිෂ්පාදන රැගෙන කරේ තියාගෙන ගෙන් ගෙට ගොස් ඒවා අලෙවි කිරීමට හෝ නගරවල තිබෙන සති පොළට රැගෙන ගොස් අලෙවි කිරීමටයි. ඒ නිසා මේ කම්මල්කරුවා රැක ගැනීමේ වැඩ පිළිවෙළකට රජය යා යුතුයි කියලයි අපිට කියන්න තියෙන්නේ.