
සාරා කන්දෙගොඩ
ශ්‍රී ලංකාවේ 2027 වසර සඳහා වන අයවැය යෝජනා පසුගිය දා පාර්ලිමේන්තුව හමුවේ තැබීය. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීහු පසුගිය මාසයක දෙකක කාලය අතරතුර ලබන වසරේ දී අත්පත් කරගත හැකි අවස්ථා ගැන ඉඟි ගණනාවක් පළ කරන ලද බව සිහිපත් කළ යුතුය. ජනාධිපති හා මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවලින් ලබාගත හැකි අභිවෘද්ධිය ගැන ජනතා තීන්දුව කෙබඳු විය හැකි ද යන්න තවමත් ප්‍රකාශ කළ නොහැක.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවරණය කර තිබුණ දැඩි කොන්දේසි ලබන වසරේ දී ඉවත් කරගත හැකිය. ස්ථාවර තැනකට පැමිණ ඇති ආර්ථිකය ආණ්ඩුවට අනන්‍ය ක්‍රමවේදයකට අනුව ඉදිරියට ගෙන යන්නට අවස්ථාවක් තිබේ. කෙසේ නමුත් පසුගිය වසර දෙක තුළ කටයුතු කළ රාමුවෙන් ගැලවෙන්නට උත්සාහයක් නොතිබීම විශේෂ ලක්ෂණයකි.
අය වැය යෝජනා හුදෙක් ඉලක්කම් පමණක් නොවේ. රට යොමු කරන දිසාව සම්බන්ධ දර්ශනයක් එහි තිබිය යුතුය. පුරවැසියන් නගා සිටුවන හා ඔවුන්ගේ ජීවන මට්ටම ඔසවා තබන කෙටි කාලීන පියවර පමණක් නොව මධ්‍ය හා දීර්ඝ කාලීන සැලසුම් අයත් විය යුතුව තිබේ.
වත්මන් ආණ්ඩුව ආරම්භ කරන අදහස් තවත් වසර ගණනාවකට පසු ප්‍රතිඵල අත්පත්කර දෙන තැනට හැරවිය හැකිනම් එය අනාගත පරපුරටය. යුද්ධයෙන් ඇති වූ කැලැල්, ආර්ථික අර්බුදයෙන් ඇති වූ විපාක සහ සමාජය එකතු කරන පිළිවෙළට පදනමක් අය වැය තුළ අන්තර්ගතව තිබේ ද යන්න ප්‍රශ්න කළ යුතුය.
අය වැය මූලික රාමුව තුළ හැසිරීම
2027 වසරේ දී රුපියල් බිලියන 7,933ක සමස්ත රාජ්‍ය වියදමක් දක්වන අතර, එහි දී රුපියල් බිලියන 1,753ක අයවැය හිඟයක් පැවැතිය හැකි බවට අපේක්ෂා කර ඇත. එම අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් සියයට 4.5කි. 2026 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.1 ක පමණ අය වැය හිඟයක් එකල යෝජනා කළ නමුත්, මෙම වසරේ මෙතෙක් ගත වූ කාලයේ වියදම් සලකා බැලීමෙන් පසු අය වැය හිඟය දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.7 ක් පමණ විය හැකි බව අලුත්ම වාර්තා දක්වයි.
ජාතික අයවැයක් යනු සරලව සාමාන්‍ය නිවෙසක ආදායම් හා වියදම් ආකාරයකට සමාන කළ හැකිය. ඉපැයීම් හා පවුලේ වියදම් ආකාරයටය. වියදම අඩුවන පසු ආදායමට සමාන පරිදි ජීවත්විය හැකිවේ. එය ආදායම ප්‍රමාණවත් නොවන හා ණය ගැනීමට සිදුවන හිරිහැරය වළක්වයි. මෙහිදී රජයට ලැබෙන සමස්ත ආදායම එක් පසෙකින් ද, රාජ්‍ය සේවා පවත්වාගෙන යාම, වැටුප් ගෙවීම, සහනාධාර සැපයීම සහ සංවර්ධන ආයෝජන සඳහා වැය කරන මුදල් අනෙක් පසෙකින් ද තිබේ. ආදායමට වඩා වියදම වැඩි වූ විට ඇතිවන පරතරය අයවැය හිඟය වන අතර, එය පියවා ගැනීම සඳහා ණය ගැනීමට හෝ වෙනත් මූල්‍ය සම්පාදන ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවේ.
ආර්ථික පරිවර්තනයක් කරා යොමුවීමේ අවශ්‍යතාව මෙවර අයවැය සනිටුහන් කරයි. ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව නිරීක්ෂණය කළ හැකිය. එහෙත්, රාජ්‍ය ආදායම් පිළිබඳ පුරෝකථන, වියදම් වෙන්කිරීම් සහ මූල්‍ය සම්පාදන උපකල්පන ඇතුළු සමස්ත රාජ්‍ය මූල්‍ය රාමුව පිළිබඳව ගැඹුරින් විමසා බැලීමේදී, පසුගිය වසරවල හා සමානව යෝජනාවල ප්‍රායෝගිකත්වය තීරණය නොකෙරෙන බව පෙනේ. 2027 වසරේ අපේක්ෂිත ආදායම් ප්‍රමාණය සපයා ගැනීම ගැටලුවක් විය හැකිය. මෙම වසරේ දී බදු ආදායම උපයා ගත හැකි වූ නමුත්, ලබන වසරේ දී එය ඒ හා සමාන වර්ධනයකට නොයන්නට ඉඩ තිබේ. 2026 වසරේ දී හා සමානව, වෙන්කරන මුදල් සැබෑ ලෙසම වියදම් කිරීමට රජයට හැකි වේද යන්න ප්රශ්නයකි. මෙමවසරේ මෙතෙක් වියදම් කර නැති මුදල් ප්‍රමාණය ඇස්තමේන්තුවලින් සැලකිය යුතු කොටසක් බව දැක්වේ.
සියයට හතක ආර්ථික වර්ධනයක්
ලබන වසර් සමස්ත රාජ්‍ය වියදම 2026 සංශෝධිත ඇස්තමේන්තුව වූ රු. බිලියන 7,309 සිට රු. බිලියන 624 ක ඉහළ යාමකි. පුනරාවර්තන වියදම රු. බිලියන 5,944 ක් වන අතර, රජයේ වැටුප් හා වේතන රුපියල් බිලියන 1,41ක්, පොලී ගෙවීම් රු. බිලියන 2,643ක් සහ සහනාධාර රුපියල් බිලියන 1,482ක් ඇතුළත් වේ. ප්‍රාග්ධන ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.1ක් පමණ වේ. මාර්ග, දුම්රිය, ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇත.
මූල්‍ය ස්ථායීකරණ ක්‍රියාවලියෙන් ඉදිරියට ගොස් ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණ අය වැය තුළ දක්වයි. තිරසාර ලෙස සියයට 7ක වර්ධන වේගයක් ළඟා කර ගැනීමට ඉලක්ක කර ඇත. 2026 වසරේ දී ද අය වැය ඉදිරිපත් කරමින් සියයට හතක වර්ධනයක් ගැන ජනාධිපති හා මුදල් ඇමතිවරයා කරුණු දක්වන ලද නමුත්, මෙම වසරේ මෙතෙක් ගත වූ කාලය අනුව එය ළඟාකරගත නොහැකි ඉලක්කයකි. අභ්‍යන්තර හා බාහිර සාධක එහි ලා බලපෑ බව ප්‍රකාශ කළ හැකිය.
ජාත්‍යන්තරය තුළ යුද ගැටුම්, බලශක්ති ප්‍රශ්න හා නිෂ්පාදන අංශවල අඩාළවීමක් සිදුවිය. ඛනිජ තෙල් හා ගෑස් සැපයුම සම්බන්ධයෙන් අධික පිරිවැයක් හා ඉල්ලුම සාක්ෂාත් කරගත නොහැකි තත්වයක පසුවේ. වෙළෙඳපොළ මිල ගැළපීම හේතු කරගෙන මෙරට කර්මාන්ත ව්‍යාපාර පමණක් නොව, සාමාන්‍ය ජනතාවට උහුලා ගත නොහැකි වියදමක් බව ප්‍රකාශ වී තිබේ. පැහැදිලිවම මෙකී ජාත්‍යන්තර පීඩනය රටට බරපතළ තත්වයක් ඇති කළේය. අභ්‍යන්තර වශයෙන් අයහපත් කාලගුණය මහත් පීඩාවක් ඇති කර තිබේ. දිට්වා කුණාටුවෙන් ඇති කරන ලද විනාශය වසරකට පසු පවා ප්‍රතිසංස්කරණය කරගත නොහැකි වී ඇත. විදුලිය ගාස්තු සහ සංශෝධනය කරන ලද බදු හේතු කරගෙන මෙරට සියලුම ස්ථරවලට අහිතකර ප්‍රතිඵල ඇති කර තිබේ. එවැනි පසුබිමක් තුළ ළඟා කරගත නොහැකි වූ ආර්ථික වර්ධන ඉලක්ක 2027 වසරේ දී සැබෑ කරගත හැකි ද යන්න ෙමරට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සලකා බැලීම විය යුතුය.
බදු සංශෝධන සහ ආදායම් ඉලක්ක
පුද්ගල ආදායම් බදු අය කිරීමේ සීමාව මාසික ආදායම රුපියල් 150,000 සිට රුපියල් 162,500ක් පමණ දක්වා ඉහළ නංවා ඇත. එමෙන්ම උපරිම සමාගම් බදු අනුපාතය සියයට 55 සිට සියයට 45 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.
සියයට 6ක බදු අනුපාතයෙන් ආවරණය වන වාර්ෂික ආදායම් පරාසය රුපියල් 500,000 සිට රුපියල් 600,000 දක්වා පුළුල් කිරීමට යෝජනා කර ඇත. මීට අමතරව, මීට පෙර පැවති සියයට 18ක බදු කාණ්ඩය වෙනුවට නව සියයට 12ක බදු කාණ්ඩයක් හඳුන්වා දීමට ද යෝජනා කර තිබේ.
මුද්‍රිත පොත් සහ අධ්‍යාපනික ද්‍රව්‍ය එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර ඇත. හාල්මැස්සන් සහ උම්බලකඩ වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2026 නොවැම්බර් 13 වැනිදා සිට අඩු කර තිබේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යවසාය අතරින් අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන හෝ සංචාරක ක්ෂේත්රයේ අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක ආයෝජනයක් සිදු කරන ආයතන සඳහා සියයට 200ක වැඩිදියුණු කළ ප්‍රාග්ධන දීමනාවක් ලබා ගැනීමට අවස්ථාව සැපයේ. සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමට යෝජනා කර ඇත. තීරුබදු වර්ග 800ක් යටතේ අය කරන බදු සියයට 25කින් අඩු කිරීමටත්, ජාත්‍යන්තර නාවික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන බංකර් ඉන්ධන සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කිරීමටත් යෝජනා කර තිබේ. ප්‍රාග්ධන ලාබබද්ද සඳහා අදාළ වන විෂය පථය පුළුල් කිරීමට යෝජනා කර ඇත. ඩිජිටල් වත්කම්, ගුප්තකේතන මුදල් (Cryptocurrencies)” වාණිජ විකාශන සහ විදුලි සංදේශ බලපත්‍ර, ඉහළ වටිනාකමකින් යුත් චංචල වත්කම් එයට අදාළ වේ.
මෙම සියලු යෝජනාවල අවසානයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායමේ අනුපාතය 2025 වසරේ සියයට 16.6 සිට 2027 වසරේදී සියයට 15.8 දක්වා පහත වැටේ. මෙම අනුපාතය සියයට 20 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කරන පසුබිමක, එයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ප්රවණතාවකි. එක් අතකින් බදු සහන ලබාදෙන අතරම, අනෙක් අතින් රාජ්‍ය ආදායම මත පදනම් වූ ආර්ථික පරිවර්තනයක් කිසිසේත් පහසු නැත.
රාජ්‍ය ආයෝජන සඳහා වූ පැතිකඩ
අය වැයෙන් හඳුනාගෙන ඇති රජයේ ආයෝජන ප්‍රතිපාදන කිහිපයකි. අධිවේගී මාර්ග, අධිවේගී මාර්ග පද්ධති සහ දුම්රිය සඳහා රුපියල් බිලියන 251ක්. දුම්රිය විදුලිකරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් බිලියන 80ක් ජල සම්පාදන හා වාරිමාර්ග සඳහා වෙන් වෙන් වශයෙන් රුපියල් බිලියන 77 බැගින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 131ක් අධ්‍යාපන ක්ෂේත්රයේ ඩිජිටල්කරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 35ක් වශයෙන්ය. මේවා සමාජ අවශ්‍යතා බව පැහැදිලිය. එහෙත් ඉක්මන් විය යුතුය.
රජයේ වියදම් මගින් මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටස 2028 වසරේ දී ද අවසන් කළ නොහැක. මහනුවර යා කෙරෙන්නේ කවදාදැයි නිශ්චිත නැත. රත්නපුර, යාපනය, මන්නාරම වැනි අධිවේගී මාර්ග සැලසුම් අතර තිබේ. වැඩ අවසන් කරන ලද වරාය ඔස්සේ ගාලු මුවදොර දක්වා යා කෙරෙන අධිවේගී මාර්ගය විවෘත කර නැත. දිට්වා විනාශයෙන් පසු දුම්රිය මාර්ග නවීකරණය කළ නොහැකි තැනක තිබුණ ද දුම්රිය විදුලියකරණ ව්‍යාපෘති ඉලක්ක පහසු ඒවා නොවේ. අධ්‍යාපන ඩිජිටල්කරණයක් ගැන සාකච්ඡාවන නමුත් පසුගිය වසරට ද වඩා අඩු ප්‍රතිශතයකින් බවට දැනටමත් විරෝධය පළවී තිබේ.
පසුගිය අය වැය යෝජනා දෙකකින් ඉදිරිපත් වූ ව්‍යාපෘතිවල ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රමාදය, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බාධා සහ කොන්ත්‍රාත්කරුවන්ගේ ධාරිතාව සම්බන්ධ ගැටලූ හේතුවෙන් පසුබෑමට ලක්ව ඇති ව්‍යාපෘති රැසක් පවතින පසුබිමක, නව ව්‍යාපෘති සඳහා රජයේ මුදල් විසුරුවා හැරීමෙන් අයවැය යෝජනා ප්‍රතිශතයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමේ අවදානමක් මතු වේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ මීළඟ අදියර සඳහා අවශ්‍ය ආයෝජන, ඩිජිටල්කරණය, බලශක්ති පරිවර්තනය, අපනයන තරගකාරීත්වය සහ සමාජ සාධාරණත්වය යන ප්‍රධාන ක්ෂේත්‍ර අයවැයෙන් හඳුනාගෙන තිබේ. එහෙත්, අයවැය හිඟය වැඩි නොවන පරිදි මෙම සියලූ වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් ඉදිරිපත් වී නොමැත.
අපැහැදිලි ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීම
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ පැතිකඩ සඳහා අදාළ යෝජනා කිහිපයක් ද අයවැයට ඇතුළත් කර තිබේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට සහාය ලබාදීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීම විශේෂත්වයකි. උසස් පෙළ සිසුන් ඉලක්ක කරගත් ‘සෑම දෙනාටම කොටසක්’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කර ඇත. එමගින් දරුවන්ට රුපියල් දස දහස දක්වා මුලික ධනයක් නිදහස් කිරීමට යෝජිතය. ප්‍රාග්ධන වෙළෙඳපොළට වැඩි පිරිසකගේ සහභාගිත්වය ලබාගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ප්රාග්ධනය සපයා ගැනීමේ අවස්ථා පුළුල් කිරීම සහ තරුණ පරපුර අතර ආයෝජන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණ බව පෙනේ.
එහෙත් රටට අවශ්‍ය පිටතින් ධනය ලැබෙන කොටස් වෙළෙඳපොළකි. විදේශ ආයෝජන ළඟා කරගත යුතුව තිබේ. සුරැකුම් කොමිසම ගෙනගිය ප්රාදේශීයකරන ක්‍රියාවලිය සමග ලක්ෂ සංඛ්‍යාත ගිණුම් පවතින නමුත්, ඒවායෙන් ගනුදෙනුවීමක් නොවේ. පාසල් සිසුන් ද එකතු වූ පසු ගිණුම් ප්‍රමාණය ඉහළ යා හැකි නමුත් තරගකාරී ගනුදෙනු කරන්නට වත්කමක් නැති කොටසකි. සංඛ්‍යාව වැඩි වූ පමණින් ප්‍රාග්ධනීකරණයක් හෝ තරගකාරීත්වයක් ඇති නොවේ. කොටස් වෙළෙඳාම එක්තරා ආකාරයක සූදුවකි. එහි දී ධනය ඇතිවීම හෝ නැතිවීම අපේක්ෂා කළ යුතුය. පාසල්වියේ දරුවන් මෙම පැතිකඩ කරා යොමු කිරීම පරෙස්සමෙන් කළ යුතුවේ.
දැනට පෙනී යන පරිදි තරුණයන් සඳහා රැකියා හිඟයක් පවතී. උපාධීධරයන් විශාල ප්‍රමාණයක් රැකියා විරහිතය. රජයේ විශ්වවිද්‍යාලවලට අමතරව පුද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය මගින් උසස් අධ්‍යාපනය සහිත තරුණ පිරිසක් බිහිකර තිබේ. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල් මෑතක දී අනුගමනය කරන ආරක්ෂණවාදී පිළිවෙළ හේතු කරගෙන මෙරට තරුණයන්ට ජාත්‍යන්තරයේ අවස්ථා අහිමි වෙමින් තිබේ. ඉදිරියේ දී එය තවත් තීරණාත්මකය. මෙයට පියවරක් වශයෙන් ඉක්මනින් කර්මාන්ත හා ව්‍යාපාර ඇතිකර රැකියා සුලබ කළ යුතුව තිබේ. එතැනට ගමන් කළ යුතු මොහොතක කොටස් වෙළෙඳාමට නැඹුරු කිරීම උත්තරයක් නොවේ.
ණය සහ රාජ්‍ය ව්‍යවසායන්හි අකාර්යක්ෂමතාව
රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීමට රුපියල් බිලියන 2,643ක් වෙන්කර ඇත. එය සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 34.4කි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉදිරියේ පවතින ප්‍රධානතම අභියෝගයක් වන ණය සේවාකරණ පිරිවැයේ විශාලත්වය පැහැදිලි වේ. පොලී ගෙවීම් තවදුරටත් රජයේ තනි විශාලතම වියදම් අංශය ලෙස පවතී.
ආණ්ඩුව මෑතක දී ප්‍රකාශ කළ පරිදි රජයේ ව්‍යාපාර තිස් ගණනක් අහෝසි කිරීමට සූදානම්ය. රජයට අයත් ව්‍යාපාර හාරසිය ගණනකින් ලාබ සහිතව පවත්වාගන යන ප්‍රමාණය සුළු කොටසකි. ඒ අනුව, ලංකා බැංකුව බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 62.7ක ලාබයක් වාර්තා කර ඇති අතර, මහජන බැංකුව රුපියල් බිලියන 32.6ක සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව රුපියල් බිලියන 22.6ක ලාබයක් වාර්තා කර තිබේ. මෙම බැංකු මහජනතාව මත ක්‍රියාකරන ආකාරය අපැහැදිලිය. දුප්පත් ජනතාවගේ රන් උකස් ණය සඳහා පොලිය සියයට දහ හතකි. කිසිම අවදානමක් නැති සහ පාරිභෝජන ණය සේ සැලකෙන මෙම අංශයෙන් වැඩිම පොලියක් ගැනීම යුතුකමක් නොවේ. වාණිජ බැංකුවල ක්‍රියාකාරකමක් ද විය යුතු නැත. 2015 වසරේ දී අයවැයෙන් රන් උකස් ණය කටයුතු බැංකුවලින් ඉවත් කිරීමට යෝජනා කළ අතර, එය මහ බැංකුව එවකට අගය කළ අදහසකි. බැංකු ව්‍යවසායකත්වයට ඉඩ දිය යුතු නමුත්, එය මගහැර රන් උකස්ගැනීමේ නිරතවීමෙන් පසු අධික ලාබ ලැබීම සංවර්ධන උපායක් විය යුතු ද? අනෙක් අතට මෙම බැංකුවල තැන්පත් මුදල් වැඩිම කොටසක් රජයට ණය ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධය. එය ද ආර්ථිකයකට සුදුසු පියවරක් නොවේ.
සේවක අර්ථසාධක අරමුදල් භාර මණ්ඩලය රුපියල් බිලියන 36.5ක ලාබයක් වාර්තා කර ඇති අතර, ජාතික රක්ෂණ භාර අරමුදලේ ලාබය රුපියල් බිලියන 12.8කි. මේවා ද මහජන මුදල් හා රජයට ණය දෙන ක්රියාවලියෙහි කොටසකි. මෙම අංශ රජයෙන් ඉවත් කරන සේ දැනටමත් යෝජනා කර ඇත. ස්වාධීන කළහොත් ආර්ථිකය සක්‍රීය කරනු නියතය. ධනය උපයන හා ඒවා ආර්ථිකයට වක්‍ර බර පටවන අතර ලාබ වශයෙන් පෙන්වාදීම ගැටලු සහගත බව ප්‍රතිපත්ති සම්පාදකයන් වටහා ගත යුතුය. අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය අතරින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 34.5ක ලාබයක් වාර්තා කර තිබේ.
ඊට අමතරව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 29.2ක ලාබයක් වාර්තා කර ඇත. මේවා ද අවසානයේ දී ආර්ථික වේගය බලපාන අතර, ජන ජීවිතයට ප්‍රශ්න ඇතිකරයි. කාර්යක්ෂම හා අඩු පිරිවැය සහිතව පවත්වාගෙන ගියහොත් කෙළින්ම ජීවන වියදම අඩුකරන හා උද්ධමනය පාලනයට හේතු වන බව දැක්විය හැකිය. මහජනතාවට සේවයක් විය යුතු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලාබය ද රුපියල් බිලියන 16.2කි. ජල ගාස්තු ගැන පියවර ගැනීමට මෙය සාධකයකි.
අලාබ සහ සුබසාධනය තවදුරටත්
රාජ්‍ය ව්‍යවසාය කිහිපයක් තවදුරටත් මූල්‍ය අලාභ වාර්තා කර තිබේ. ඒ අතරින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රධානතම අලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇත. 2026 අප්‍රේල් සිට ජූනි දක්වා මාස තුනක කාලය තුළ එම සමාගම බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 35.6ක අලාභයක් වාර්තා කර තිබේ. 2025 වසරේ අනුරූප මාස තුනක කාලය තුළ එම අලාභය රුපියල් බිලියන 8.9ක් විය. ලංකා සීනි සමාගම රුපියල් බිලියන 1.53ක අලාභයක් වාර්තා කර ඇති අතර, 2026 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වාර්තා කර ඇති අලාභය රුපියල් මිලියන 471කි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ලංකා සතොස ආයතනය ද අලාභ වාර්තා කළ අනෙකුත් රාජ්‍ය ආයතන අතර වේ. ආර්ථික පරිවර්තනයක් ගැන 2027 අය වැයෙන් කරුණු දක්වන නමුත් මෙවැනි අංශ ගැන දැනට වඩා පුළුල් සලකා බැලීමකට යා යුතු වග අමතක කර තිබේ.
ආයෝජන ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ආපදාවලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කර ඇත. 2027 වසරේදී තවත් මෙගාවොට් 50ක සුළං විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ද අය වැය ට ඇතුළත් වේ. සහනාධාර හා සුබසාධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 1,472ක් වෙන්කර තිබේ. අස්වැසුම ඇතුළු ප්‍රධාන සමාජ ආරක්ෂණ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම ප්‍රතිපාදනවල ප්‍රධාන අරමුණ වේ. අස්වැසුම කාණ්ඩ වශයෙන් පවත්වාගෙන යන අතර පවුල් දියුණුවනවිට එයින් ඉවත්කිරීම සැලසුම වූ නමුත් එය අසාර්ථකය. තව දුරටත් අඛණ්ඩව මුදල් සැපැයීමට රජයට සිදුවී ඇත. එය මහජනතාවගෙන් අය කරන බදු නැවත දුප්පතුන්ට පැවැරීම වන අතර, රාජ්‍ය ව්‍යවසායවල බර හේතු කරගෙන සහනාධාර සඳහා වැඩිපුර බදු අය කරන්නට සිදුවන බව සඳහන් කළ යුතුව තිබේ.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා රුපියල් බිලියන 1,410ක් වෙන්කර ඇත. රජයට දැරීමට සිදුවන විශාල මූල්‍ය වගකීම තවදුරටත් පැහැදිලි වේ. බදු ගෙවන ජනතාවට ලබාදුන් සහනය සම්පූර්ණයෙන්ම පාහේ රජයේ සේවයට ගෙවීමෙන් ලැබෙන සමාජ අවාසිය බරපතළය. රජ්‍ය සේවය කාර්යක්ෂමතාව හා ආණ්ඩව නිතර සඳහන්කරන ඩිජිටල් ක්‍රමවේද මගින් රාජ්‍ය අංශය කුඩා කළ හැකිවේ. එය ප්‍රමාදය. මෙවර ද ඩිජිටල් කරණය සඳහා මුදලක් වෙන් කරන නමුත් මහජන සේවා වෙනුවට බදු කරණය හා රජයේ ගාස්තු අය කරගැනීමේ පියවර සඳහා පමණක ඩිජිටල් පද්ධති සකස් වී තිබේ. ඒවා ගැන සැලකිල්ල අවශ්‍යය.
අවශ්‍යම අපනයන ප්‍රවර්ධනය
රුපියල් ඉපැයීමෙන් පමණක ආණ්ඩුව කරගෙන යා නොහැක. අය වැය ප්‍රාථමික අතිරික්තයක් තබාගැනීමෙන් රුපියල අවප්රමාණයවීම වළකින්නේ නැත. ප්‍රධාන ආනයන සඳහා විනිමය අවශ්‍ය කෙරේ. 2026 සැප්තැම්බර් මාසය වන විට ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,487 දක්වා ඉහළ ගොස් ඇත. විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවා පැවතිය ද, තෙල් මිල, නාවික ප්‍රවාහන වියදම් සහ දේශගුණික ආපදා වැනි බාහිර කම්පන තවදුරටත් ප්‍රධාන අවදානම් ලෙස පවතී. තෙල් ආනයන වියදම අපනයන ආදායමෙන් තුනෙන් එකකි. අපනයන ගැන අවධානය යොමු නොකළහොත් 2028 වසර වන විට රජයෙ විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භකරන්නේ කෙසේ ද යන්න කල්පනා කළ යුතුය. සාමාන්‍යයෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හතක් පමණ විදේශ ණය හා පොලිය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වනු ඇත.
ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනය 2027 ජනවාරි මාසයේදී පැවැත්වීම සහ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 750ක් වෙන්කර තිබේ. මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන හා සේවා ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදීම, නව වෙළෙඳ අවස්ථා සොයා ගැනීම සහ අපනයන ආදායම් ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ 2027 අයවැයේ බදු සහන, ආයෝජන දිරිගැන්වීම්, ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීම සහ අපනයන ප්‍රවර්ධනය සම්බන්ධ යෝජනා මගින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා රජය ගෙන ඇති උත්සාහය පැහැදිලි වේ. එහෙත්, රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම් සහ රාජ්‍ය සේවයේ වැටුප් හා සුබසාධන වියදම් සඳහා වෙන්කර ඇති විශාල මුදල් ප්‍රමාණය හමුවේ, සංවර්ධන ආයෝජන සඳහා ප්‍රමාණවත් මූල්‍ය අවකාශයක් පවත්වා ගැනීම රජයට සැලකිය යුතු අභියෝගයක් වනු ඇත.
චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව අධ්‍යයනය කිරීම, ඉන්දියාව සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීම සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කර ඇත.
මේවා සුදුසු අදහස්ය. ක්‍රියාවට නැංවීම අවශ්‍යය. එබැවින්, 2027 අය වැය යෝජනාවල සැබෑ ප්රතිලාභ රටට ලබාගත හැක්කේ ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම, ආදායම් ඉලක්ක සපුරා ගැනීම සහ රාජ්‍ය වියදම්වල ඵලදායීතාව ඉහළ නැංවීම මතය. 2027 අයවැය සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන්, ව්‍යාපාරික මණ්ඩල සහ විපක්ෂ දේශපාලන නියෝජිතයන් අතර පවතින පොදු අදහස වන්නේ, එය ප්‍රතිසංස්කරණ හා ආර්ථික පරිවර්තනය අරමුණු කරගත් අයවැයක් වුවද, එහි ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ අපේක්ෂිත රාජ්‍ය ආදායම් සපුරා ගැනීම පිළිබඳ සැලකිය යුතු අවදානම් පවතින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd