
යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තියෙනුත් ආයෝජකයන්ට බලපෑම්
විදුලිබල කප්පාදුව නිසා දිනකට විදුලි ඒකක මිලියන 4ක් අහිමි වෙනවා
ඒකපාර්ශ්වික ගිවිසුම් උල්ලංඝණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැරසෙයි
බැටරි පද්ධති සවි කිරිමට සූදානම් නමුත් ඊට අදාළ මාර්ගෝපදේශ සහ ගිවිසුම් සංශෝධන මෙතෙක් ලබා දී නැහැ
භානුක අමරසිංහ
මෙරට තුළ ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හරහා උත්පාදනය කරන විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ගෙන යන අත්තනෝමතික තීරණ සහ යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හේතුවෙන් අනාගත පුනර්ජනනීය බලශක්ති ආයෝජන දැඩි අනතුරකට ලක්ව තිබෙන බව ජාල ගත සූර්ය විදුලිබල ප්‍රවර්ධකයන්ගේ සංවිධානය පවසයි.
පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ සාමාජිකයන් මේ පිළිබඳව කරුණු අනාවරණය කළේය.
විශේෂයෙන්ම පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට වසරකට ආසන්න කාලයක් සති අන්තයේ දින දෙක සහ නිවාඩු දිනවල පමණක් සිදු කළ මෙම විදුලිය කප්පාදුව, මේ වනවිට සඳුදා දිනය දක්වා සතියකට දින තුනක කාලයක් දීර්ඝ කර තිබෙන බවත්, මේ හේතුවෙන් දැනට එම ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කර ඇති පිරිස මෙන්ම අනාගත ආයෝජකයන්ද දැඩි කලකිරීමට පත්ව සිටින බවත් ඔවුහු සඳහන් කරති.
“අද වන විට අපගේ සංගමයට සම්බන්ධ මෙම ආයෝජකයන් හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 3,300 ක පමණ ධාරිතාවක් සපයනවා. එහෙත් මේ කප්පාදුවත් සමගින්ම දිනකට මෙගාවොට් 1800ක් පමණ එනම් විදුලි ඒකක මිලියන 4ක් පමණ අහිමි වෙනවා. ඒ නිසා මේ කප්පාදුව නිසා කර්මාන්තයට සිදුවෙලා තිබෙන මූල්‍යමය හානිය රුපියල් බිලියන 2කට අධිකයි.’ යනුවෙන් එම සංගමයේ සභාපති ඉංජිනේරු ප්‍රභාත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම තත්වයත් සමගින්ම පොළොව මත ඉදි කර ඇති සූර්ය බලාගාර හිමියන්ගේ මාසික ආදායමද සියයට 15 කින් පමණ පහත වැටී ඇතැයිද මෙහිදී සඳහන් විය.
“ලංකා විදුලි බල මණ්ඩලයත් සමගින් පවතින විදුලි මිලදී ගැනීමේ ගිවිසුම අනුව මෙම බලාගාර අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතු වුවත්, ඔවුන් එම ගිවිසුම් කොන්දේසි ඒක පාර්ශ්විකව උල්ලංඝණය කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන් අපි මේ වනවිට උපදෙස් ලබා ගනිමින් සිටිනවා.’ යනුවෙන්ද එම සංගමය පවසා සිටියේය.
කෙසේ වෙතත් මෙම ගැටලුවට විසඳුම් ලෙස දිවා කාලයේදී කප්පාදු කරන අතිරික්ත විදුලිය ගබඩා කර රාත්‍රී කාලයේදී උපරිම ඉල්ලුමක් පවතින පස්වරු 6.30 සිට 10.30 දක්වා කාලය වෙත ලබාදීමට අවශ්‍ය බැටරි පද්ධති සවි කිරිමට මෙම ආයෝජකයන් සූදානම් නමුත්, ඒ සම්බන්ධයෙන් ලබාදුන් කැබිනට් තීරණයද නොසලකමින් ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් මෙහිදී චෝදනා එල්ල විය.
“මේ බැටරි පද්ධති සහිත බලාගාරයකින් විදුලි ඒකකයක් රුපියල් 45.80 කට මිලදී ගැනීම කැබිනට් මණ්ඩලය අනුමත කළේ 2025 ජූනි මාසයේදී. ඒ වගේම 2025 සැප්තැම්බරයේදී මුදල් අමාත්‍යාංශය මේ සඳහා බදු සහනත් ලබාදුන්නා. ඒත් මාස පහක් ගත වෙලා මේ සඳහා වන ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ සහ ගිවිසුම් සංශෝධන නිකුත් කිරීම විදුලි බල මණ්ඩලය හිතාමතා ප්‍රමාද කර තිබෙනවා.
මේ අතර යෝජිත නව ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හරහාද දේශීය ආයෝජකයන් අධෛර්යවත් කරවන යෝජනා රැසක් ඉදිරිපත්ව ඇතැයිද සංගමයේ සභාපති ඉංජිනේරු ප්‍රභාත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
“මේ නව ප්‍රතිපත්තිය යටතේ දැනට පවතින ස්ථාවර ගාස්තු ක්‍රමය (FIT) අහෝසි කර ලංසු ක්‍රමයට යාමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යාවසායකයන් මේ කර්මාන්තයෙන් ඉවත් වේවි. මොකද මෙගාවොට් 10කට වඩා අඩු ව්‍යාපෘතිවලින් සියයට 92ක්ම ක්‍රියාත්මක වෙන්නේ මේ ස්ථාවර ගාස්තු ක්‍රමය යටතේ.
ඒ වගේම පද්ධතියේ අවශ්‍යතාව මත විදුලිය ලබා ගැනීම කප්පාදු කළොත්, ඊට වන්දි ගෙවීමක් සිදු නොකිරීමටත් මෙහි යෝජනා වෙලා තිබෙනවා. එය ආයෝජකයන්ට විශාල අවදානමක්. ඔවුන්ට බැංකු ණය ගෙවා ගන්න බැරි වෙනවා.’
මීට අමතරව මෙම ආයෝජකයන් සඳහා සිදු කරන ගෙවීම් රුපියල් මත පමණක් කිරිමට යෝජනා කිරිමත් සමගින් ආයෝජකයන් විනිමය අනුපාත අවදානමකටද ලක් කරන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd