විමුක්ති එස්. රුද්‍රිගු


ශ්‍රී ලංකාව පසුගිය අගෝස්තු මාසයේදී පෞද්ගලික හා වාණිජ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 189 ක් වියදම් කර ඇති බවත් එය 2025 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව වාහන ආනයන වියදමේ සියයට 24.2 කින් අඩුවී ඇතැයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය ජූලි මාසයේදී පෞද්ගලික හා වාණිජ වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 241ක් වැය වී තිබූ අතර, ඒ අනුව අගෝස්තු මාසයේ වාහන ආනයන වියදම ජූලි මාසයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 52කින් පමණ අඩු වී තිබේ. කෙසේ වෙතත්, මේ වසරේ මුල් මාස අට තුළ වාහන ආනයනය සඳහා වැය වූ මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1,684ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාව මෙම වසරේ මුල් මාස අටේදී පෞද්ගලික හා වාණිජ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.68ක් වියදම් කර ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්ෂව වියදමේ සියයට 83.4ක ඉහළ යාමකි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස අටේදී වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 766කින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වාහන ආනයනය සඳහා වැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 918ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස අටේදී මෙරට වාහන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.68ක් දක්වා ඉහළ ගොස් තිබේ.