• තාර නොමැතිවීමෙන් මාර්ග ඉදිකිරීම් තවදුරටත් අඩාළයි 
  • රජය අරමුදල් සපයන ව්‍යාපෘති ඉහළ යෑමෙන් නව ඇණවුම් ඉහළට 

අගෝස්තු මාසයේදී ඉදිකිරීම් අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 59.4ක් ලෙස සටහන් වන බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය පසුගිය ජුලි මාසයේදී වාර්තා කළ දර්ශකාංක 61.4 ට සාපේක්ෂව අඩු වේගයකින් ඉහළ යෑමක් ලෙස හඳුනාගෙන තිබේ.  

විශේෂයෙන්ම පවතින බිටුමන් (තාර) හිඟය හේතුවෙන් මාර්ග ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාළ වී ඇති බවත්, එමගින් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය සීමා වී ඇති බවත් සමීක්ෂණයට ප්‍රතිචාර දැක් වූ බොහෝ දෙනකු සඳහන් කර තිබේ. 

ප්‍රධාන වශයෙන්ම රජය අරමුදල් සපයන ව්‍යාපෘති ඉහළ යෑම හේතුවෙන් නව ඇණවුම් දර්ශකය අගෝස්තුවේදී ඉහළ ගොස් තිබේ. එසේම සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනීම් ද අගෝස්තුවේදී තවදුරටත් වර්ධනය වී තිබේ. එහිදී ක්ෂේත්‍රයේ වර්ධනයට ඇති ප්‍රධාන බාධා ලෙස අඛණ්ඩව පවතින පුහුණු ශ්‍රම හිඟය සහ අමුද්‍රව්‍ය හිඟය සඳහන් කර තිබේ.  

කෙසේ වෙතත් තාර හිඟය සහ අමුද්‍රව්‍ය මිල උච්ඡාවචන තවදුරටත් අභියෝග ඇති කළ ද, අලුතින් ප්‍රදානය කරන ලද ව්‍යාපෘති මගින් ලැබෙන සහාය හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතින බවත් මහ බැංකුව සඳහන් කරයි.