• යතුරැපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයට දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ තවත් පියවරක්

ශ්‍රී ලංකාවේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, TVS ලංකා පුද්ගලික සමාගමේ TVS Knowledge Center හි දෙවැනි පුහුණු මධ්‍යස්ථානය රාගමදී විවෘත කෙරිණි.

නව මධ්‍යස්ථානයෙන් කාර්මික ශිල්පීන්, අලෙවි හා සේවා කණ්ඩායම් සහ කර්මාන්තයට පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම, TVS Knowledge Center මගින් ක්‍රියාත්මක කරන දිගුකාලීන පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් වනු ඇත.

TVS Knowledge Center හි පළමු පුහුණු මධ්‍යස්ථානය 2024 වසරේදී කොළඹ 14 ප්‍රදේශයේ ආරම්භ කෙරිණි. TVS බලයලත් අලෙවි හා සේවා නියෝජිතයන්, පෞද්ගලික ගරාජ් කාර්මික ශිල්පීන් (PGM), සමාගමේ සේවකයන් සහ අනෙකුත් අදාළ පාර්ශ්ව සඳහා ක්‍රමවත් පුහුණුවක් ලබාදීම එහි මූලික අරමුණ විය.

එතැන් සිට තාක්ෂණික පුහුණුව, නිෂ්පාදන දැනුම, සේවා කටයුතු, දෝෂ හඳුනාගැනීම හා විසඳීම, නව තාක්ෂණය, අලෙවි කුසලතා, ව්‍යවසායකත්වය සහ වෘත්තීය සංවර්ධනය ආවරණය වන පුහුණු වැඩසටහන් රැසක් මෙම මධ්‍යස්ථානයෙන් ක්‍රියාත්මක කර ඇත.

එම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වූයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ලත් පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්වීම සහ NVQ Level  4 සුදුසුකම් පිරිනැමීම සඳහා අවශ්‍ය අනුමැතිය හිමිකර ගැනීමයි. TVS Knowledge Center හි තොරතුරු අනුව, යතුරුපැදි කර්මාන්තය සඳහා මෙවැනි පිළිගත් පුහුණුවක් සහ NVQ Level 4 වැඩසටහනක් හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයේ නියුතු සමාගමක් අතුරින් කළ පළමු පළමු අවස්ථාව ලෙස සැලකේ.

මෙම වැඩසටහනෙන් කාර්මික ශිල්පීන්ට තම ප්‍රායෝගික අත්දැකීම් තවදුරටත් වර්ධනය කරගැනීමටත්, ජාතික වශයෙන් පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබාගැනීමටත් අවස්ථාව සැලසේ. ඒ අනුව, 2025 වසරේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති සහතික පිරිනැමීමේ උත්සවයේදී සුදුසුකම් සපුරාගත් කාර්මික ශිල්පීන් 225 දෙනකුට NVQ සුදුසුකම් පිරිනමන ලදී. දිගුකාලීන ප්‍රායෝගික අත්දැකීම් ඇති කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය හැකියාවන්ට ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබාදීමට එය වැදගත් අවස්ථාවක් විය.

රාගම පුහුණු මධ්‍යස්ථානය යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා විශේෂිත නවීන තාක්ෂණික උපකරණ සහ පුහුණු පහසුකම්වලින් සමන්විත වේ. නවීන වාහන පද්ධති, ප්‍රායෝගික සේවා කටයුතු, දෝෂ හඳුනාගැනීම හා විසඳීම, නව පරම්පරාවේ වාහන තාක්ෂණය, නිෂ්පාදන දැනුම සහ ගුණාත්මක පාරිභෝගික සේවාව එහි පුහුණු වැඩසටහන් මගින් ආවරණය කිරීමට සැලසුම් කර ඇත. ඉදිරියේදී ත්‍රීරෝද රථ කාර්මික ශිල්පීන් සඳහාද NVQ සුදුසුකම් ලබාදීමේ වැඩසටහන් ආරම්භ කිරීම TVS Knowledge Center  හි තවත් අරමුණකි.

වෘත්තීය පුහුණුව කර්මාන්තයේ සැබෑ අවශ්‍යතා සමග සම්බන්ධ කිරීම සඳහා TVS Knowledge Center විවිධ අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව කටයුතු කරයි.