LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව සහ කෘෂිකර්මාන්ත ව්‍යවසායකයන්ට සහායවීමේ සිය කැපවීම තහවුරු කරමින්, ‘‘ගොවි දිරි දැනමුතු”‍ කෘෂිකාර්මික දැනුවත් කිරීමේ සහ ගොවින්ගේ දැනුම හුවමාරු කර ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන පසුගියදා මොණරාගලින් ආරම්භ කරන ලදී. 

ගොවීන් 55 දෙනකු සහභාගී වූ මෙම පළමු සැසියේදී, ඔවුන්ගේ කෘෂිකාර්මික දැනුම, ව්‍යාපාරික හැකියාව සහ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙන්ම වඩාත් තිරසාර සහ ශක්තිමත් ජීවනෝපායක්‌ ගොඩනැංවීම සඳහා ගොවීන් සවිබලගන්වන සක්‍රීය දැනුමෙන් සපිරි අත්දැකීමක් ඔවුනට හිමිවිය. 

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන මොණරාගල, ගොවීන් සහ කෘෂිකර්මාන්ත ව්‍යවසායකයන් බහුලව සිටින දිස්ත්‍රික්කයකි. LOLC ෆිනෑන්ස් ආයතනයට මෙහිදී සිය වත්මන් සහ නව ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීමට අවස්ථාව උදාවිය. 

මෙම අන්තර්ක්‍රියාකාරී වැඩසටහනේදී ගොවීන්ගේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම හා තිරසාර ව්‍යාපාර ගොඩනැංවීමට උපකාරී වන ප්‍රායෝගික තේමා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණ. නවීන හා තිරසාර ගොවිතැන් ක්‍රම, බෝග ඵලදායීතාව සහ අස්වනු කළමනාකරණය, පළිබෝධ මර්ධනය, රෝග පාලනය, ජලය සහ සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම, මූල්‍ය සැලසුම්කරණය සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය, ව්‍යවසායකත්ව සහ ව්‍යාපාර සංවර්ධනය, වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ කෘෂි ව්‍යාපාර තුළ අගය එකතු කිරීමේ අවස්ථා මෙහිදී ආවරණය වූ ප්‍රධාන ක්ෂේත්‍රවලට ඇතුළත් විය. අපේක්ෂිත ‘එල්-නිනෝ’ කාලගුණික සංසිද්ධියට මුහුණදීම සඳහා ගොවීන් සූදානම් කිරීමේ විශේෂ සැසියක්ද මෙහිදී පැවැත්වුණු අතර, එහිදී ගොවිතැන් කටයුතු කළමනාකරණය, ඇතිවිය හැකි බලපෑම් අවම කරලීමට සහ එවැනි තත්වයට සූදානම් වීම පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ගොවීන්ට ලබාදීමද සිදුවිය. මෙම වැඩසටහන පළපුරුදු කෘෂිකාර්මික සම්පත් දායකයන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන් මෙන්ම LOLC ෆිනෑන්ස් නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් පවත්වන ලදී.

වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් LOLC ෆිනෑන්ස් පුද්ගලික මූල්‍ය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී අරුණ ලෝගස් මහතා මෙසේ පැවසීය. ‘‘ගොවීන් දැනුමෙන් සන්නද්ධ කිරීම, ඔවුන්ට මූල්‍ය සහාය ලබාදීම තරම්ම වැදගත් වන බව LOLC ෆිනෑන්ස් හි අප විශ්වාස කරමු. මෙම වැඩසටහන් මාලාව හරහා, ව්‍යවසායකයන්ට සහ ගොවීන්ට ඵලදායිතාව ඉහළ නැංවීම, වඩාත් සාර්ථක කෘෂිකාර්මික ක්‍රමවේදවලට යොමුවීම සහ ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය මූල්‍ය විසඳුම්වලට ප්‍රවේශය ලබාදීමෙන් ග්‍රාමීය ප්‍රජාව සවිමත් කිරීමට අපි අඛණ්ඩව කටයුතු කරමු. ණය ලබාදීමෙන් ඔබ්බට ගිය අපේ කැපවීම, තිරසාර ජීවනෝපාය සහ දිවයින පුරා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දිගුකාලීන අගයන් නිර්මාණය කිරීම දක්වා විහිදේ.”   

මෙම වැඩසටහනෙන් ලබාගන්නා දැනුම ගොවීන්ගේ කෘෂිකාර්මික කටයුතු සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල ප්‍රායෝගික දියුණුවක් බවට පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමගින් නව තාක්ෂණයට අනුගතවීම සහ කෘෂිකර්මාන්ත ක්‍රමවේද වැඩිදියුණු කිරීම, ගොවිපොළ පුළුල් කිරීම, යාන්ත්‍රිකකරණය, ලාභදායීතාව ඉහළ නැංවීම සහ වඩාත් තිරසාර ජීවනෝපායක් ගොඩනැංවීම සඳහා දිරිගැන්වීමක් ලැබෙනු ඇත. 

මේවායේ ප්‍රතිඵලවලින් ගොවීන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරලීමට සහ කෘෂිකාර්මික ව්‍යවසායවල දිගුකාලීන වර්ධනයට සහායක් ලැබෙනු ඇති බව LOLC ෆිනෑන්ස් හි අපේක්ෂාවයි.