• මෙම වසරේ දෙවැනි භාගයේදීද සියයට 4 ආර්ථික වර්ධනයක්
  • මෙරට උද්ධමනය ලබන වසරේ පළමු කාර්තුව තෙක් ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක
  • එසේම බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ස්ථාවර මට්ටමක
  • උද්ධමනය ඉහළ මට්ටමක තිබීමට ලෝක බලශක්ති මිල ප්‍රධාන හේතුවක්
  • වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක දළ නිල සංචිත ඉලක්කයට යා හැකියි

විමුක්ති එස් රුද්‍රිගු


ලබන වසරේ මාර්තු මාසයේදී මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන අවසන් වූවායින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන ආකාරය පිළිබඳව තිබෙන විකල්ප සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

තවත් අරමුදල් වැඩසටහනකට යනවද, නවත්වනවද, මොනවගේ වැඩසටහනකටද යන්නේ පිළිබඳව එහිදී රජය සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. මෙම වසර අවසානවීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සම්පූර්ණ කර එහි වාරිකය ලබා ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

තාක්ෂණික සහ ප්‍රමාණාත්මක කරුණු කීපයක විශ්ලේෂණ තවමත් අවසන් වී නොමැති වීම කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹීම ප්‍රමාදවීමට හේතුව බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව තවමත් මහ බැංකුව පුරෝකථන කර නොමැති බවත්, කෙසේ වෙතත් මෙම වසරේ දෙවැනි භාගයේදී ද ශ්‍රී ලංකාව සියයට 4 ආර්ථික වර්ධන වේගයක් ළඟ කරගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

මෙරට උද්ධමනය ලබන වසරේ පළමු කාර්තුව තෙක් ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක තිබෙනු ඇති බවත්, ඉන් පසුව ක්‍රමානුකූලව සියයට 5 සීමාවට උද්ධමනය පහළ එනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේම බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ස්ථාවර වී තිබෙන බවත්, එය පසුගිය කාලයේදී මෙරටට ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 1 කින් වැඩි කිරීමට මහ බැංකුව ගත් තීරණයේ ප්‍රතිඵලයක් බවත් ඔහු පැවැසුවේය.

එසේම රජයද මෙරට ආර්ථිකය ස්ථාවර කරමින් උද්ධමනය පාලනය කිරීමට ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබෙන බවත්, ඒ අතර වාහන සඳහා අධිභාරයක් පැනවීමට බලශක්තිය සඳහා සහනාධාර ලබාදීම තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. මහ බැංකුවේ සහ රජයේ ක්‍රියා මාර්ග නොවන්නට මෙරට උද්ධමනය තවත් ඉහළ යාමට හැකියාව තිබූ බවත් ඔහු සඳහන් කළේය.

උද්ධමනය ඉහළ මට්ටමක තිබීමට ලෝක බලශක්ති මිල ප්‍රධාන හේතුවක් බවත් මැද පෙරදිග යුද්ධයට පෙර ඩොලර් 70 සීමාවේ තිබූ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවේ ඉහළ පහළ යමින් තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේම ශ්‍රී ලංකාවට වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක දළ නිල සංචිත ඉලක්කයට යා හැකි යැයි තමන් විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකාව එම මාර්ගයට අවතීර්ණ වී සිටින බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

කෙසේ නමුත් මැද පෙරදිග යුද්ධය සහ එල් නිනෝ දේශගුණික තත්වය හමුවේ මෙරට ආර්ථිකයට අවිනිශ්චිතතාවක් තිබෙන බවත් එල් නිනෝ දේශගුණික තත්වය හමුවේ මෙරට ආර්ථිකය එල්ල වන අවදානම තවමත් ඇස්තමේන්තු කර නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. වර්තමානය වන විට මෙරට ආනයන වියදමද පහළ ගොස් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

වාහන ආනයනය උපරිම ණය සීමාව සහ අධිභාරය හේතුවෙන් පහළ ගොස් තිබෙන බවත් ඉදිරියේදී එය තවත් පහළ යනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉදිරි මාස තුන සඳහා ණයවර ලිපි විවෘත කළ ප්‍රමාණයද පහළ ගොස් තිබෙන බව ඔහු සඳහන් කළේය.