- ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම ශ්‍රී ලංකාවේ මීළඟ අභියෝගයයි
- වත්මන් වැඩසටහනේ සමස්ත අරමුණුවලින් සියයට 85කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ඉටුකරලා
- ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම අත්‍යාවශ්‍යයි
- දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන සමාලෝචනය කිරීමට මූල්‍ය අරමුදලේ සහාය
- යෝජිත ඇතැම් සංශෝධන මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකියි
විමුක්ති එස්. රුද්‍රිගු
|
ශ්‍රී ලංකා නේවාසික නියෝජිත |
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹ නොතිබීමෙන්, මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන නියමිත මාර්ගයෙන් බැහැරවී ඇතැයි අදහස් නොවන බව එම අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වොල්ඩෙමයිකල් මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය..
ප්‍රධාන ප්‍රතිපත්ති සහ වැඩසටහනට අදාළ පරාමිතීන් පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡාවලට අමතර කාලයක් අවශ්‍ය විය හැකි බවද ඇය සඳහන් කළාය.
වොල්ඩෙමයිකල් මහත්මිය මෙම අදහස් පළකර සිටියේ පසුගිය 24 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති සම්පත් බැංකු ආර්ථික සංසදය අමතමිනි.
මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ හත්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින අතර, වත්මන් වැඩසටහනේ සමස්ත අරමුණුවලින් සියයට 85කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ඉටුකර ඇති බවද ඇය පැවැසුවාය. ඒ හේතුවෙන් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම අත්‍යාවශ්‍ය බවද ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන සමාලෝචනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන බවද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත්, යෝජිත ඇතැම් සංශෝධන මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකි බව ඇය පෙන්වා දුන්නාය. විශේෂයෙන් වත්කම් ප්‍රකාශවලට මහජනතාවට ප්‍රවේශවීමේ හැකියාව, එම තොරතුරු ප්‍රසිද්ධ කිරීම සීමා කිරීමට අදාළ නීති සහ වත්කම් ප්‍රකාශවලට ඇතුළත් කළ යුතු තොරතුරුවල විෂය පථය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ අවධානය යොමුවී තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය.
මහජන විශ්වාසය රැකගැනීම සඳහා දූෂණ විරෝධී නීතිමය රාමුවේ ශක්තිය ආරක්ෂා කිරීම තීරණාත්මක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පෙන්වා දී ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.
ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීමෙන් ඔබ්බට ගොස් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම ශ්‍රී ලංකාවේ මීළඟ අභියෝගය බව වොල්ඩෙමයිකල් මහත්මිය සඳහන් කළාය. ඒ සඳහා ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අපනයන පුළුල් කිරීම සහ දිගුකාලීනව පවත්වාගත හැකි ආර්ථික වර්ධනයක් ඇතිකරන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඇය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd