ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිසිල් හා මනරම් පරිසරයක පිහිටි කාමර 16කින් සමන්විත EKHO Belihuloya විවෘත කිරීමත් සමග EKHO Hotels & Resorts සිය හෝටල් ජාලය තවදුරටත් පුළුල් කර තිබේ. EKHO සන්නාමය යටතේ ක්‍රියාත්මක වන හය වැනි හෝටලය වන මෙය ස්වාභාවික සුන්දරත්වය හා වික්‍රමාන්විත අත්දැකීම් සඳහා ජනප්‍රිය වෙමින් පවතින බෙලිහුල්ඔය ප්‍රදේශයට නව ආගන්තුක සත්කාර අත්දැකීමක් එක් කරයි.

පරම්පරා ගණනාවක් තිස්සේ කඳුකරය හරහා ගමන් කළ සංචාරකයන්ගේ ජනප්‍රිය විවේක ස්ථානයක් වූ බෙලිහුල්ඔය කඳු, දිය පහර, දිය ඇලි සහ සශ්‍රීක වනාන්තර පරිසරයකින් වට වූ සුවිශේෂ ගමනාන්තයකි. නාගරික ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මිදී නිස්කලංකව කාලය ගත කිරීමට සුදුසු මෙම ප්‍රදේශය අද වන විට ගමන් අතරතුර නතර වන ස්ථානයකින් ඔබ්බට ගොස් දින කිහිපයක් නවාතැන් ගනිමින් ස්වාභාවික පරිසරය හා එළිමහන් ක්‍රියාකාරකම් අත්විඳිය හැකි ගමනාන්තයක් ලෙස වර්ධනය වෙමින් පවතී.

බෙලිහුල්ඔය සහ ඒ අවට ප්‍රදේශ ගවේෂණය කිරීමට පහසු මධ්‍යස්ථානයක් ලෙස EKHO Belihuloya ස්ථානගත කර ඇති අතර ස්වභාව සෞන්දර්යය, වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සහ නවීන පහසුකම් එකම අත්දැකීමක් තුළ එක් කිරීමට එය සැලසුම් කර ඇත. දිනය පුරා අවට ස්වාභාවික ආකර්ෂණීය ස්ථාන සහ එළිමහන් අත්දැකීම් සොයා ගිය අමුත්තන්ට නැවත හෝටලයට පැමිණ සුව පහසු හා නිස්කලංක පරිසරයක විවේක ගැනීමට අවස්ථාව සැලසේ. හෝටලයේ කාමර 16ම සම්පූර්ණයෙන් නවීකරණය කර ඇති අතර අවට ස්වාභාවික පරිසරයේ අනන්‍යතාව රැක ගනිමින් සුව පහසු නවාතැන් අත්දැකීමක් ලැබෙන අයුරින් ඒවා සැලසුම් කර තිබේ. නවාතැන් පහසුකම් නව මුහුණුවරකට පත් කර තිබුණද පරම්පරා ගණනාවක සංචාරකයන්ගේ මතකයේ රැඳී ඇති පැරණි බෙලිහුල්ඔය තානායමේ සුවිශේෂ ලක්ෂණ කිහිපයක් පොදු අවකාශ තුළ තවදුරටත් සංරක්ෂණය කර ඇත. හෝටලය අසලින් ගලා යන දිය පහරද එහි සුවිශේෂ අනන්‍යතාවේ වැදගත් අංගයක් ලෙස තවදුරටත් පවතී. අමුත්තන්ට නිස්කලංකව විවේක ගැනීමට, ආහාර පාන රස විඳීමට සහ බෙලිහුල්ඔය ප්‍රදේශයේ ස්වාභාවික සොඳුරු බව සමීපව අත්විඳීමට මෙම පරිසරය විශේෂ පසුබිමක් සපයයි. EKHO Belihuloya විවෘත කිරීමත් සමග EKHO Hotels & Resorts සිය හෝටල් ජාලයට නව සංකල්පයක්ද එක් කරමින් මෙම හෝටලය EKHO Adventure Cluster යටතේ ස්ථානගත කර ඇත. ස්වාභාවික භූ දර්ශන, එළිමහන් ක්‍රියාකාරකම් සහ ගමනාන්තය සමග සමීප අත්දැකීමක් දෙන හෝටල් මෙම කාණ්ඩය යටතේ එක් කිරීමට සැලසුම් කර තිබේ. මෙම සංකල්පය ඔස්සේ අමුත්තන් හෝටලය තුළ පමණක් රැඳී නොසිට ඒ ඒ ගමනාන්තවල ස්වභාවය, සංස්කෘතිය සහ වික්‍රමාන්විත අත්දැකීම් සොයා යාමට දිරිගැන්වීම EKHOහි අරමුණයි.

ඓතිහාසික කිතුල්ගල තානායමද මේ වන විට නවීකරණය වෙමින් පවතින අතර එයද ඉදිරියේදී EKHO සන්නාමය යටතේ නැවත විවෘත කිරීමට නියමිතය. ගංගා ආශ්‍රිත වික්‍රමාන්විත ක්‍රියාකාරකම්, එළිමහන් විනෝදාස්වාද සහ ස්වාභාවික පරිසරය සඳහා ප්‍රසිද්ධ කිතුල්ගල ෑ EKHO Belihuloya සමග එක් වී EKHO Adventure Cluster සංකල්පය තවදුරටත් ශක්තිමත් කිරීමට නියමිතය. “බෙලිහුල්ඔය යනු ශ්‍රී ලංකාවේ වෙනස්ම ස්වාභාවික අත්දැකීමක් විඳගත හැකි සුවිශේෂ ගමනාන්තයක්. EKHO Belihuloya හරහා අපගේ අරමුණ වන්නේ පැරැණි තානායමේ අනන්‍යතාව සහ එම ස්ථානයට ආවේණික හැඟීම රැක ගනිමින් ප්‍රදේශය ගවේෂණය කිරීමට පැමිණෙන අමුත්තන්ට සුවපහසු නවාතැන් මධ්‍යස්ථානයක් දීමයි.  Adventure Cluster හඳුන්වාදීමත් සමග ස්වභාවය සහ එළිමහන් අත්දැකීම් සමග සමීපව බැඳුණු අපගේ හෝටල් එක් සංකල්පයක් යටතේ ගොනු කිරීමට අපට හැකි වී තිබෙනවා.” EKHO Hotels & Resorts උප සභාපති (අලෙවි හා විකුණුම්) ඒඩ්‍රියන් ජෑන්ස් මහතා පැවසීය. EKHO Belihuloya EKHO Hotels & Resorts ජාලයේ හය වැනි හෝටලය ලෙස එක්වීමත් සමග ඓතිහාසික තානායම්වල පැරැණි අනන්‍යතාව ආරක්ෂා කරමින් ඒවා වර්තමාන සංචාරකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන නවීන ගමනාන්ත හෝටල් බවට පරිවර්තනය කිරීම සඳහා Ceylon Hotels Corporation PLC ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරයි.