ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් Platforms සහ සහයෝගිතා අංශයේ උප සභාපතිනි, මුදිතා ප්‍රේමරත්න මහත්මිය සහ Dinemore ආයතනයේ අධ්‍යක්ෂ ෂහීම් සදීකීන් මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව


ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Dialog Pay හරහා මෙරට ජනතාවගේ ජීවිතවලට ඩිජිටල් ගෙවීමේ ක්‍රම තව තවත් සමීප කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, දිවයිනේ අවන්හල් 12 කින් සමන්විත Dinemore හා එක්ව, පාරිභෝගිකයන්ට ආරක්ෂිතව LankaQR ගෙවීම් සිදුකිරීමේ හැකියාව ලබාදී ඇති බව දැනුම් දෙයි. 

ඒ අනුව දැන් පාරිභෝගිකයන්ට, Dinemore අවන්හල් මගින් මිලදීගන්නා ප්‍රණීත ආහාරපාන ලබාගැනීමේදී Dialog Pay හරහා ආරක්ෂිතව හා පහසුවෙන් ගෙවීම් සිදුකළ හැකි අතර, මෙලෙස සිදුකරන සෑම සුදුසුකම්ලත් LankaQR ගනුදෙනුවක් සඳහාම, නොමිලේ Dialog Data වාසිද ඔවුන්ට හිමි වේ.

කාර්යබහුල දිනයක පාරිභෝගිකයන් ලබාගන්නා ක්ෂණික ආහාර වේලක පටන්, පවුලේ අය සහ හිතමිතුරන් සමග ආහාර භුක්ති විඳීමේ අත්දැකීම දක්වා ඕනෑම අවස්ථාවක, Dinemore අවන්හල් තුළ ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට පාරිභෝගිකයන්ට දැන් Dialog Pay භාවිත කළ හැක. ඒ අනුව, පාරිභෝගිකයන්ගේ ගෙවීම් විසඳුම් අතරට තවත් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් එක්කරන මෙම සහයෝගිතාවෙන්, ඔවුන්ග දෛනික අවන්හල් අත්දැකීම තවත් පහසු කරයි. එය, ගුණාත්මක හා ප්‍රණීත ආහාර පාරිභෝගිකයන් වෙත සමීප කිරීමේ Dinemore හි දිගුකාලීන දැක්මට මනා රුකුලකි.

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් Dinemore ආයතනයේ අධ්‍යක්ෂ ෂහීම් සදීකීන් මහතා මෙලෙස සඳහන් කළේය.

“Dinemore වසර ගණනාවක පටන්, ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ආහාර ගැනීමේ අත්දැකීම් සමග බැඳුණු නමක්. එලෙස අවන්හල් ක්ෂේත්‍රයේ අඛණ්ඩව කාලයක් තිස්සේ ඉදිරියට ඒමෙන් අදහස් වන්නේ, අපගේ පාරිභෝගිකයන් සමග එක්ව, අපි අලු‍ත් වෙමින් ගමන් කරන බවයි. Dialog Pay සමග ඇති කරගත් මෙම සහයෝගිතාව, අපගේඑම අඛණ්ඩ ගමනේ තවත් එක් පියවරක්. එය අපගේ ආපනශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට, වැඩි ඩිජිටල් පහසුවක් පිරිනමනවා වගේම, අමතර වටිනාකමකුත් එක් කෙරෙනවා. අපගේ පාරිභෝගිකයන්ගේ අවන්හල් අත්දැකීම ඉහළ නංවමින්, එය ඔවුන්ට වාසි පිරිනමන අත්දැකීමක් බවට පත් කිරීමට ඩයලොග් සමග කටයුතු කිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා.”‍

MyDialog App සමග ඒකාබද්ධ කර ඇති Dialog Pay මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයකුගේ ඩිජිටල් ගෙවීම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයන්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමැති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ.