වසර 10ක උපරිම ගෙවීමේ කාල සීමාවක් 


DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ Toyota  වාහන සඳහා නිල නියෝජිතයා වන Toyota Lanka  සමාගම හා එක්ව නව Toyota මගී රථ වාහන සඳහාම විශේෂිත වූ ලීසිං පහසුකමක් හඳුන්වා දී ඇත. මෙහිදී වසර 10 දක්වා පහසු ගෙවීම් කාලසීමාවක් සහ අවසාන වාරිකයේදී මුළු ණය මුදලින් සියයට 50 දක්වා ගෙවීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට හිමිවේ.

නව Toyota  මගී රථ වාහන සඳහා ශ්‍රී ලංකාවේ හඳුන්වා දුන් ප්‍රථම වසර 10ක ලීසිං පහසුකම මෙය වන අතර, DFCC බැංකුව සහ Toyota Lanka සමාගම අතර මේ සඳහා අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම (MoU) මගින් මෙම සේවාව නිල වශයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

නව වාහනයක් මිලදී ගැනීමේදී මුහුණ දීමට සිදුවන මාසික මූල්‍ය පිරිවැය වඩාත් නම්‍යශීලී ලෙස කළමනාකරණය කරගැනීමට ගනුදෙනුකරුවන්ට සහාය වීම මෙම ලීසිං පහසුකමේ ප්‍රධාන අරමුණයි. අදාළ වන පොලී අනුපාතය, ලීසිං කාලසීමාව සහ නැවත ගෙවීමට ඇති ශේෂය මත පදනම්ව, වසර 5ක සාමාන්‍ය ලීසිං ක්‍රමයකට සාපේක්ෂව මෙම ක්‍රමයෙහි මාසික වාරිකය ආසන්න වශයෙන් සියයට 20 කින් පමණ අඩු කරගැනීමේ හැකියාව පවතී.

මෙහිදී ආපසු ගෙවීමට ඇති ශේෂයේ වටිනාකම ගණනය කරනු ලබන්නේ ලබාගන්නා මුළු ණය මුදලට සාපේක්ෂව වන අතර, එය මූලික ලීසිං කාලසීමාව අවසානයේ හිඟ මුදලක් ලෙස ගෙවිය යුතුවේ. එකවර විශාල මුදලක් ලෙස මෙම අවශේෂ වටිනාකම පියවීමට අදහස් නොකරන ගනුදෙනුකරුවන්ට, ඒ වෙනුවෙන් නැවත වසර 5 ක නව ලීසිං පහසුකමක් සඳහා අයදුම් කිරීමේ හැකියාව සලසා දී ඇත. කෙසේ වෙතත්, මෙම අතිරේක වසර 5 ලීසිං පහසුකම ස්වයංක්‍රීයව හිමිවන්නක් නොවන අතර, ඒ සඳහා වෙනම ණය ඇගයීමක්, අනුමැතියක් සහ එම අවස්ථාවේ පවතින ණය දීමේ කොන්දේසි අදාළ වේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. ‘‘ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ මාසික අයවැයට ගැළපෙන මෙන්ම ලීසිං කාලය අවසානයේ හිඟ මුදල පියවන්නේ කෙසේද යන්න පිළිබඳවද පැහැදිලි අවබෝධයක් ලබාදෙන ලීසිං විසඳුම්. දීර්ඝ කළ හැකි ලීසිං කාලසීමාවක්, අවශේෂ වටිනාකම් විකල්ප සහ පසුව නැවත ලීසිං පහසුකම් ලබාගත හැකි පැහැදිලි මගක් එකට එක්කිරීමෙන් ගනුදෙනුකරුවන්ට මෙම දෙඅංශයම නම්‍යශීලී ලෙස සැලසුම් කිරීමට අපි අවස්ථාව ලබා දී තිබෙනවා. ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට සැබැවින්ම ගැළපෙන ප්‍රයෝගික විසඳුම් නිර්මාණය කිරීමට අප සතු කැපවීම මෙයින් මනාව පිළිඹිඹු වෙනවා.”‍

මෙම ලීසිං පහසුකම ප්‍රධාන වශයෙන් මාසික වේතන ලබන වෘත්තිකයන්, ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන්, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති අතර, අවසන් අනුමැතිය බැංකුවේ තක්සේරුකරණයට සහ සත්‍යාපනයට යටත් වේ. මාසික වාරිකය සැලකිය යුතු ලෙස අඩුවීම නිසා සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ට තම පවුලේ හෝ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් වෙන්කරන ප්‍රතිපාදනවලට බාධාවකින් තොරව නව වාහනයක හිමිකම ලබාගැනීමට මෙයින් මගපෑදේ.