ශ්‍රී ලංකාව තුළ BYD සහ Denza වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් උදෙසා සුවිශේෂී මූල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ John Keells CG Auto සමාගම සිය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයන්ට ඉතා සහනදායී මෙන්ම නම්‍යශීලී ලීසිං පහසුකම් රැසක් හිමිවන අතර, පරිසර හිතකාමී වාහනයක හිමිකාරිත්වය පහසුවෙන්ම ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ.
මෙම අවබෝධතා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව තුළ විදුලි සහ හයිබ්‍ර්ඩ් වාහන භාවිතය වඩාත් ජනප්‍රිය කරවීම වෙනුවෙන් පාරිභෝගිකයන්ට සුවිශේෂී දීමනා රැසක් හිමිවේ. එමෙන්ම, මෙරට තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන තිරසාර ප්‍රවාහන අවශ්‍යතාවලට සහාය වෙමින්, නවීනතම මෝටර් රථ මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට වැඩි මූල්‍ය නම්‍යශීලීත්වයක් ලබා දීමට ද මෙම හවුල්කාරීත්වය ඉඩ සලසයි.
මෙම හවුල්කාරිත්වය යටතේ, වසර හතක් දක්වා විශේෂ ලීසිං අනුපාත සමග නම්‍යශීලී අවශේෂ අගය ගෙවීමේ ක්‍රමවේද පාරිභෝගිකයන් වෙත පිරිනැමීමට HNB පියවර ගෙන ඇත. මීට අමතරව, පළමු වසර සඳහා වාර්ෂික ගාස්තුවෙන් නිදහස් HNB ක්‍රෙඩිට් කාඩ්පතක් සහ HNB  ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් සහනදායී වාහන රක්ෂණ වාරික ද පාරිභෝගිකයන් වෙත හිමි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා මෙසේ පැවසුවේය. “ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ නව්‍යකරණය, කාර්යක්ෂමතාව සහ පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේද ඔස්සේ නව යුගයකට පිවිසෙමින් තිබෙනවා.
John Keells CG Auto සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වයෙන් විශ්වාසනීය මූල්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රථ තාක්ෂණය එක් කිරීමට හැකි වන අතර එමගින් පාරිභෝගිකයන්ට වටිනා වරප්‍රසාද රැසක් සමගින් සහනදායී මූල්‍ය විසඳුම් ඔස්සේ BYD සහ Denza වාහන හිමිකර ගැනීමට අවස්ථාව සැලසෙනවා. මෙම පියවර, දිවයිනේ ප්‍රමුඛතම වාහන මූල්‍යකරණ අත්දැකීමක් පාරිභෝගිකයා වෙත සමීප කිරීමට HNB හි කැපවීම මැනවින් පෙන්නුම් කරනවා.”