Allianz Insurance Lanka Limited විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ විධිමත් ගමනාගමන පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ප්‍රජා සත්කාරක වැඩසටහනක් වන Allianz Protect අඛණ්ඩව පස්වැනි වරටත් ක්‍රියාත්මක කෙරේ. 

සැප්තැම්බර් 14 වැනිදා සිට 16 වැනිදා දක්වා තෙදිනක් පුරා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, කුඩා වියේ සිටම දරුවන් අතර ආරක්ෂිතව මාර්ග භාවිතය සහ ගමනාගමනය හා සම්බන්ධ විධිමත් පුරුදු පිළිබඳ අවබෝධයක් ඇතිකරලීම කෙරෙහි අවධානය යොමු කරයි. මාර්ග ආරක්ෂාව ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛතාවක් වන පසුබිමක, දරුවන් සහ තරුණ ප්‍රජාව අතර මාර්ග භාවිත කිරීමේදී ආරක්ෂාව සහ වගකීමකින් යුතු හැසිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන මෙවැනි පුරෝගාමී කාර්යයන් සඳහා allianz Lanka සමාගම නිරන්තරව සහාය ලබා දෙයි.

2026 වැඩසටහනේ එක් අංගයක් ලෙස, Allianz Protect වැඩසටහන යටතේ දිවයිනේ නගර 30ක් ආවරණය කරමින් දරුවන් සඳහා ආරක්ෂිත හිස්වැසුම් 1,500ක් බෙදා දීමට Allianz Lanka කටයුතු කරයි. ඒ අනුව, Allianz Protect වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා බෙදා දී ඇති සමස්ත ආරක්ෂිත හිස්වැසුම් සංඛ්‍යාව 6,800 දක්වා ඉහළ යයි. ශ්‍රී ලංකාවේ මාර්ග භාවිත කරන දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ වඩාත් ආරක්ෂිත ප්‍රජාවක් ගොඩනැංවීමට සමාගම දක්වන දිගුකාලීන කැපවීම මෙම සන්ධිස්ථානය තුළින් පිළිබිඹු වේ.