• 2026 වසරේ ජනවාරි - අප්‍රේල් කාලයේ පැවැති අඩු වර්ෂාපතනය හේතුවයි

2027 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරට පොල් ඵලදාව ගෙඩි මිලියන 842 + 34ක් වනු ඇතැයි පොල්  පර්‌යේෂණ ආයතනය පුරෝකථකය කරයි. ඒ අනුව මෙය 2026 එම කාලසීමාව තුළ නෙළූ පොල් ගෙඩි මිලියන 1,254 ට සාපේක්ෂව සියයට 32 ක අඩුවීමකි. 

සිය නවතම පුරෝකථන වාර්තාව ඉදිරිපත් කරමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කර සිටියි. මෙහිදී 2027 ජනවාරි - පෙබරවාරි පොල් ඵලදාව ගෙඩි මිලියන 363ක් වනු ඇති බවත්, එය 2026 එම කාලයේ නෙළූ ගෙඩි මිලියන 588 ට සාපේක්ෂව සියයට 38.2ක අඩුවිමක් ලෙසත් සටහන්ව තිබේ.  

එසේම 2027 මාර්තු - අප්‍රේල් කාලයේදී පොල් ඵලදාව ගෙඩි මිලියන 479ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය 2026 එම කාලයේ නෙළූ ගෙඩි මිලියන 666 ට සාපේක්ෂව සියයට 28ක අඩුවිමකි. 

විශේෂයෙන්ම 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ පැවැති අඩු වර්ෂාපතනය මේ ඵලදාව අඩුවීමට හේතු වනු ඇතැයි එම ආයතනය පෙන්වා දෙයි. පැවැති එම වියළි කාලගුණය හේතුවෙන් පොල් ගෙඩි පැසීම බාලවී ඇති අතර, නොමේරූ පොල් ගෙඩි ඇති වීමට එය හේතු වී තිබේ. 

ඒ අනුව පැසුණු ගෙඩි අඩුවීම යනු ලබන වසරේ මුල් මාස හතරේ පළමු සහ දෙවැනි මුරවලදී අඩු ගෙඩි ඵලදාවක් හිමි වීමේ අවස්ථාවක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොල් වගාකරුවන්ගේ සංගමයද සඳහන් කරයි. 

මේ අතර 2026 ගත වූ මුල් මාස 09 තුළ ලැබුණු පොල් ඵලදාවේ යම් වර්ධනය සඳහා 2025 මුල් මාස හතරේ ලැබුණු යහපත් වර්ෂාපතනය හේතු වූ බවත් එම සංගමය පෙන්වා දෙයි. 

පොල් පර්‌යේෂණ ආයතනයේ දත්ත අනුව ජනවාරි - අගෝස්තු පොල් ඵලදාව 2,246ක් ලෙස පැවතී ඇති අතර, එහි පුරෝකථනය ගෙඩි මිලියන 2,240 ක් විය. ඒ අනුව මෙය පුරෝකථනය කළ අගයට වඩා සියයට 0.3 ක ඉහළ යාමකි. 

ඒ අනුව ඉදිරියේදී එළැඹෙන අඩු ඵලදාවක් සහිත කාල පරිච්ඡේදය වෙනුවෙන් සූදානමින් සිටින ලෙසත් පොල් වගාකරුවන්ගේ සංගමය ඉල්ලා සිටියි.