• ශ්‍රී ලංකාවේ තවත් වෙරළ තීර තුනක් ද ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීර 20 අතරට ඇතුළත්

ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව 

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පිහිටි අරුගම්බේ වෙරළ තීරය 2026 වසර සඳහා ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීර අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇති බව Conde Nast Traveller Readers’ Choice  නමැති වාර්තාව කියයි.

Condé Nast Traveller Readers’ Choice සමීක්ෂණ වාර්තාවට අනුව ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීර අතර පළමු ස්ථානයට පත්ව ඇති බව සඳහන් වේ.

ලොව පුරා සර්ෆින් ක්‍රීඩකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ආරුගම්බේ වෙරළ තීරය ප්‍රසිද්ධියට පත්ව තිබීම මෙම ඇගයීමට හේතුවක් ලෙස සැලකේ. එහි මුහුදු රළ, ස්වාභාවික සුන්දරත්වය සහ සර්ෆින් ක්‍රීඩාව සඳහා පවතින සුදුසු පරිසරය ජාත්‍යන්තර සංචාරකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ තවත් වෙරළ තීර තුනක් ද ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීර 20 අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

ඒ අනුව බෙන්තොට වෙරළ තීරය නව වැනි ස්ථානයටත්, තංගල්ල වෙරළ තීරය 14 වැනි ස්ථානයටත්, මීගමුව වෙරළ තීරය 19 වැනි ස්ථානයටත් පත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වෙරළ තීර කිහිපයක්ම මෙලෙස ජාත්‍යන්තර අවධානයට ලක්වීම මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් අවස්ථාවක් වන අතර, විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය තවදුරටත් වර්ධනය කරගැනීමට ද එය ඉවහල් විය හැකිය.

විශේෂයෙන්ම ආරුගම්බේ වැනි සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ ගමනාන්ත ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීම හරහා ප්‍රදේශීය ආර්ථිකයට සහ සංචාරක සේවා සපයන ජනතාවගේ ජීවනෝපායට ද ප්‍රතිලාභ සැලසීමේ හැකියාව පවතී.