IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ලංකාවේ ආර්ථික ගමන තවමත් ස්ථාවර වී නෑ - ලෝක බැංකුව කියයි

 

  • නිවැරදි මාර්ගයක ගමන් කළත් ගමන් ගන්නා මාර්ගය පටු එකක්
  • රජයේ සේවක වැටුප් ගෙවීම කළමනාකරණය විමධ්‍යගත කර ඇතත් නිසිලෙස ලේඛනගත කර නෑ
  • වියදම් පුරෝකථනය සහ නව ප්‍රතිපත්ති ගමන් කරන දිශාව විශ්ලේෂණයට රජයට තිබෙන හැකියාවද සීමාවෙලා
  • 2013 සිට 2020 දක්වා කාලයේදී මෙරට රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව සියයට 12 කින් මිලියන 1.27 දක්වා ඉහළ ගිහින්
  • 2023 වසරේදී රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව මිලියන 1.21 ක් දක්වා පහළ ගිහින්
  • ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයි
  • මෙම වසරේදී සියයට 4.6ක ආර්ථික වර්ධන වේගයක්
     

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට ආර්ථිකය නිවැරදි මාර්ගයක ගමන් කළත් ශ්‍රී ලංකාව ගමන් ගන්නා මාර්ගය පටු එකක් බවත් ශ්‍රී ලංකාව දැන් ගන්නා තීරණ අනාගතය තීරණය කරනු ඇති බවත් ලෝක බැංකුව ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ආර්ථිකය යථා තත්වයට පත්කර ගැනීමට යන ගමන තවමත් ස්ථාවරවී නොමැති බවද ලෝක බැංකුව පැවැසුවේය.

මාධ්‍ය හමුවෙන් පසුව ලෝක බැංකුව මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් නැවත වාර්තාව නිකුත් කළ අතර මෙරට රජයේ වියදම් අතර රජයේ සේවක වැටුප් ගෙවීම ප්‍රධාන සාධකයක් බවත් එය කළමනාකරණය කිරීම විමධ්‍යගත කර ඇතත් නිසිලෙස ලේඛනගත කර නැති බවත් එහි සඳහන් විණි. නිසිලෙස ලේඛනගත කර නොමැති වීම හේතුවෙන් එය අධීක්ෂණය කිරීමට හෝ වෙනස්කම් තේරුම් ගැනීමට ඇති රජයට ඇති හැකියාව සීමාවී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ. ඒ හේතුවෙන් වියදම් පුරෝකථනය කිරීම සහ නව ප්‍රතිපත්ති ගමන් කරන දිශාව විශ්ලේෂණය කිරීමට රජයට තිබෙන හැකියාවද සීමාවී තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.

මෙරට රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප ශ්‍රී ලංකාවට සමාන අනෙකුත් රටවල රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුපට වඩා අඩු වුවත් අනෙක් රටවල සිටින රාජ්‍ය සේවකයන් පිරිසට වඩා වැඩි රාජ්‍ය සේවකයන් පිරිසක් මෙරට සිටින බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් අනෙක් රටවලට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකාව රාජ්‍ය සේවයේ වැටුප් සඳහා වෙන් කරන බව ලෝක බැංකුව පැවැසුවේය.

කලින් කලට දේශපාලන හේතු මත රාජ්‍ය සේවයට විශාල වශයෙන් බඳවා ගැනීම් සිදු කිරීම එලෙස රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අනෙක් රටවලට සාපේක්ෂව ඉහළ යාමට හේතුවක් වී තිබෙන බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාව සඳහන් වේ. 2013 සිට 2020 දක්වා කාලයේදී මෙරට රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව සියයට 12 කින් මිලියන 1.27 දක්වා ඉහළ ගොස් තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.

පසුව රාජ්‍ය සේවයට බඳවා ගැනීම අත් හිටුවීමත්, ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ දෙනා විදේශගත වීමත් හේතුවෙන් 2023 වසරේදී රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව මිලියන 1.21 ක් දක්වා පහළ ගොස් තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ හේතුවෙන් විශ්‍රාම ගන්නා රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම ගැනීමට ඉඩ ලබාදිය යුතු බවත් ඒ වෙනුවෙන් නව බඳවා ගැනීම සිදු නොකළ යුතු බවත් එම වාර්තාවේ දැක්වේ

කෙසේ නමුත් සෞඛ්‍ය සේවයේ සහ ගුරු වෘත්තියේ වැඩිම පිරිසක් සිටීම ගුණාත්මක සේවාවක් සැපයීමට සහායක් වුවත් පමණ ඉක්මවූ සේවකයන් පිරිසක් සිටීම අවාසියක් වන අංශද තිබෙන බව ලෝක බැංකුව පැවැසුවේය.

මෙරට ආර්ථිකය වර්ධනයවීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සාර්ව, ආර්ථික, රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අමතරව ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

එහිදී තරගකාරිත්වය වර්ධනය කිරීමටත්, පෞද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථික වර්ධනයක් ඇති කිරීමටත් වෙළෙඳාමට බාධාවක් වන ඇතැම් තීරුබදු ඉවත් කිරීම,  රේගු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ ආයෝජන සඳහා පවතින පුළුල් නීතිමය, ආයතනික සහ නියාමන රාමුව නවීකරණය කිරීම වැනි පියවර හරහා මෙරට වෙළෙඳ ප්‍රතිපත්තිය පුළුල් කිරීමට කටයුතු කළ යුතු බවද ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. විදේශ සෘජු ආයෝජන ඇතුළු ආයෝජන, ආර්ථික වර්ධනයේ සෘජු කේන්ද්‍රස්ථානය බවද එම වාර්තාවේ දැක්වේ.

එසේම රාජ්‍ය ව්‍යවසාය අධීක්ෂණය සහ කළමනාකරණය වැඩි දියුණු කිරීමට රජය කටයුතු කළ යුතු බවද එම වාර්තාවේ සඳහන් වේ. මෙරට වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ කම්කරු නීති යාවත්කාලීන කිරීම සහ රජයේ ඉඩම් කළමනාකරණය, භාවිතය වැඩිදියුණු කිරීම ඇතුළුව සාධකවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතු බවද එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව මෙම වසරේදී සියයට 4.6ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇති බවට ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබෙන බව එම මාධ්‍ය හමුවෙන් පසුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

එසේම ලබන වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.5ක් සහ 2027 වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 3.1 ක් වනු ඇති බව එම වාර්තාව නිකුත් කරමින් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. ලබන වසරේදී මෙරට උද්ධමනය සියයට 3.7 ක් වනු ඇති බවත් එය 2027 වසරේදී සියයට 4.1 ක් වනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

 

 



අදහස් (0)

ලංකාවේ ආර්ථික ගමන තවමත් ස්ථාවර වී නෑ - ලෝක බැංකුව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 591 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 503 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site