IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


අලි අවදානමක මිරිස් වවන ගොවීන්ගේ අර්බුදය

මිරිස් අස්වැන්න නෙලන ගොවීන්

 

  • මිරිස් ඇට ග්‍රෑම් දහයේ පැකට් එකක් රුපියල් 5400 ක්
  • අක්කරේක මිරිස් බීජ වලට විතරක් රුපියල් හැටපන්දහක් 
  • වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවෙන් සියයට 90 ක් පමණම ආනයනය කෙරෙනවා
  • මිරිස් වවන්නේ අලි කටේ
  • කාලෙකට අමු මිරිස් 100 යි. 
  • මාළු මිරිස් 200 යි
  • වියදමවත් පියවා ගත නොහැකි බව ගොවියෝ කියති
  • සමහර ගොවියෝ ඇති ගැටලු‍ නිසාම වගාව අතහරිති
  • අලි කටේ ගොවීන්ගේ රාත්‍රිය ගෙවී යන්නේ පැල් උඩ

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග

හැත්තෑව දශකයේ දී මෙරට වියළි කලාපයේ මිරිස් වගාව ඉහළ මට්ටමින් සිදුවුවද, මිරිස් වගාවට වැළඳෙන විවිධ රෝග, පලිබෝධ හානි, නියඟය, අධික වැසි වැනි පාරිසරික බාධක හේතුවෙන් වගාවෙන් ගොවීන් බැහැර වීමත් සමග දේශීය නිෂ්පාදනය පහත වැටී වියළි මිරිස් ආනයනය ඉහළ ගොස් ඇත. මොණරාගල, අම්පාර, පුත්තලම, වවිනියාව, කුරුණෑගල, හම්බන්තොට සහ විශේෂයෙන් අනුරාධපුරයේ කලාවැව කේන්ද්‍ර කරගෙන ඇති මහවැලි ‘එච්’ කලාපය ප්‍රධාන වශයෙන් මිරිස් වගාකරන ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබිණි. එහෙත් එවැනි බොහෝ කලාප ආශ්‍රිතව මේ වන විට මිරිස් වගාව මගහැරී තිබේ. 

එවැනි පසුබිමක මහවැලි ‘එච්’ කලාපයේ, මීගලෑව කොට්ඨාසයේ ගොවීහු මිරිස් වවා අතමිට සොයනුයේ අඩුවක් නැති වන අලි කරදර මැදය. වසර පුරාම අමු මිරිස් සහ මාළු මිරිස් වගාවේ නියැළෙන ඔවුහු එහි ලාබ, අලාබ පිළිබඳ මනා අවබෝධයෙන් පසුවෙති. අමු මිරිස් වගාව මෙහි ගොවීන්ගේ ප්‍රමුඛතම ආදායම් මාර්ගයයි. කලකදී රුපියල් දහස ඉක්මවා යන අමු මිරිස් තවත් විටකදී කිලෝව රුපියල් සියයක් දක්වා අඩුවෙයි. මේ වන විට මාළු මිරිස් කිලෝවද රුපියල් දෙසීය විස්සක් පමණ වෙයි. මෙම මිලට මිරිස් විකිණීමෙන් සිය වියදම හෝ පියවා ගත නොහැකි තැනට කරුණු යෙදී ඇති බව ගොවීහු පැහැදිලි කරති. පදවිගම, මීගලෑව, ගනන්ගමුව, දෙකේ යාය ආදි ගම්වල කුඹුරු බිම් ආශ්‍රිතව මෙසේ ඔවුහු මිරිස් වවති. 

වසර ගණනාවක් තිස්සේ මිරිස් වගාව අත්නොහැරිය මීගලෑව, දෙකේයාය ගමේ කේ.පී. සිරිවර්ධන මහතා අද දවස ගැක මෙසේ කරුණු කීවේය. 

“මිරිස් ගොවිතැනට පොඩි වියදමක් නෙමෙයි දැන් යන්නේ. මිරිස් ඇට ග්‍රෑම් දහයේ පැකට් 12 ක් විතර ඕන අක්කරේක මිරිස් හදන්න. එක ඇට පැකට් එකක් රුපියල් 5400 ක් විතර වෙනවා. එතකොට අක්කරේක මිරිස් බීජවලට විතරක් රුපියල් හැටපන්දහක් විතර යනවා. තෙල්, පොහොර, බිම හාන්න, ශ්‍රමය, කම්කරු කුලී, කෑම බීම මේ ඔක්කොම බලපුවහම ලොකු වියදමක්. අක්කරේකට ලක්ෂ තුනක් විතර යනවා. ඉතිං රුපියල් සීයට මිරිස් දීලා ලාබයක් ගන්න බෑ. කාලයක් තිස්සේ අපි මේ ගොවිතැන කරන හින්දා අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්නවා. ඉස්සර අපිත් එක්ක මිරිස් ගොවිතැන පටන් ගත්ත ගොඩක් අය මේ ප්‍රශ්න හින්දම වගාව අතඇරලා දැම්මා.”

අසුව දශකය තුළ අනුරාධපුරයේ කලාවැව් නිම්නයේ මහවැලි ප්‍රදේශය තුළ සරුසාරව කෙරෙන අතුරු බෝග වගා අතර මිරිස් වගාවට ලැබී ඇත්තේ විශේෂ ස්ථානයකි. එහෙයින්ම මහවැලි එච් කලාපයට එවක “රතු පලස” යන අන්වර්තය ද පටබැඳ ඇත. එකල්හි මෙහි ගොවීහු ලැබු මිරිස් අස්වැන්නෙන් හොඳ ආදායමක් ලබා ගත්තා පමණක් නොව ගල්නෑව ආදි ප්‍රදේශවලින් ලැබී ඇති සරු මිරිස් අස්වැන්න මැද පෙරදිගට අපනයනය කර විදේශ විනිමය ද උපයා තිබේ. එහෙත් අද වන විට සියල්ල කණපිට පෙරළී ඇත්තේ මෙරට මිරිස් වගාව අර්බුද රැසකට මැදි කරමිනි. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනයට අනුව මිරිස් වගාවට මෙරට තුළ හොඳ විභවයක් පවතී. එහෙත් අපගේ දේශීය වියළි මිරිස් නිෂ්පාදනය ජාතික අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රමාණවත් නැත. එහෙයින් විශාල වශයෙන් විදේශ විනිමය වැයකර වසරක් පාසා මිරිස් ආනයනය කිරීමේ අවාසනාවට අපි තවමත් මැදිව සිටිමු. පසුගිය වසර කිහිපය තුළ දේශීය මිරිස් වගාවේ හා නිෂ්පාදනයේ ශීඝ්‍ර පසු බැසීමක් පෙන්වන අතර, ආනයනය හා ඒ සඳහා වැයවන විදේශ විනිමය වසරෙන් වසර විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ද පෙනී යන්නකි. අප රටේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවෙන් සියයට 90 ක් පමණම ආනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි. 

මිරිස් වගාවෙන් මනාසේ පදම් වී ඇති ඉන්දික ජගත් මහතාකළේ මෙවැනි හෙළිදරව්වකි.

“ගොඩක් ගොවියෝ මේ වෙනෙකොට මිරිස් වගාව අතෑරලා දාලා තියෙන්නේ හරි මිලක් එයිද කියලා විස්වාශයක් නැති නිසා. මිරිස් කඩන්නම කීදාහක් යනවද? මිලක් නැතිවුණාම වෙන්නේ කොටු පිටින් අතෑරලා දාන්න. මහන්සි වෙලා, වියදම් කරලා කරන ගොවිතැනට හරි මිලක් ආවේ නැතිවුණාම මිනිස්සු නිකංම ගොවිතැන අතෑරලා දානව. හැමදේම එකට දෙකක් ගණන් ගියත් අපේ අස්වැන්නට හරි මිලක් නෑ. මේ පාර කිසිම වගාවකට හරි මිලක් ආවේ නෑ. වට්ටක්කා රුපියල් විස්සටවත් දීගන්ඩ බැරිවුණා.” 

ලංකාවේ වාර්ෂික වියළි මිරිස් පාරිභෝජන අවශ්‍යතාව මේ වන විට මෙට්‍රික් ටොන් 55,000 ක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඉන් මෙට්‍රික් ටොන් 48,000 ක් පමණම ආනයනය කිරීමට සිදුව ඇත. ඒ සඳහා වසරකට මිලියන ගණනක මුදලක වැය කිරීමට සිදුව තිබේ. මේ අතර මෙරට වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 70,000 ක් පමණ යැයි ගණන් බලා ඇත. දැනට රටට අවැසි අමු මිරිස් අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කර සපුරා ගැනෙන බව සඳහන් වුවද ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට ගොවීන්ට සිදුව ඇත. එය වැඩිදෙනකු වගාවෙන් ඈත්වීමට ප්‍රමුඛතම හේතුවක් වී තිබේ. අක්කරයක මිරිස් වගාවට ප්‍රමිතියෙන් වගා ළිං මගින් ජල සම්පාදනය, වෙළෙඳපොළට ප්‍රවාහනය ආදි කාර්යයන් සඳහා නිශ්චිතව ගණනය කළ නොහැකි පිරිවැයක් දැරීමට ගොවීන්ට සිදුවෙයි. ඒ අනුව අක්කරයක මිරිස් වගාවේ ගණනය කළ හැකි පිරිවැය පහත පරිදි පෙළගැස්විය හැකිය. 

මිරිස් බීජ සඳහා - රු. 65,000
සී සෑමට - රු 25,000
මුලික බිම් සැකසීමට - රු. 60,000
පැළ සිටුවීමට - රු. 20,000
මුලික (මඩ) පොහොර (කිලෝ 100) - රු.22,000
මිරිස් පොහොර (කිලෝ 400) - රු. 38,000
ආසන්න වශයෙන් මුර තුනකට කෘමිනාශක ඉසීමට - 33,600
එක් මුරයකට මිරිස් නෙළීමට- රු. 37,500 

මේ අනුව ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ තුන ඉක්ම වු පිරිවැයක් අක්කරයක මිරිස් වගාවට ගොවීන්ට සිදුවේ. ඒ ඒ මොහොතේ ඇතිවන විවිධ ගැටලු‍ හමුවේ පිරිවැය තවදුරටත් ඉහළ යෑම වැළකිය හැකි නොවේ. 

අවම වශයෙන් අමු මිරිස් කිලෝවක් 200 ත් 250 ත් අතර මිලකටත්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 300 ත් 350 ත් අතර මිලකටත් අලෙවි කර ගත හැකි නම් සිය වගාවෙන් යම් ලාබයක් උපයා ගත හැකි බව මෙම ගොවීහු පෙන්වා දෙති. 

නිමල සම්පත් මහතා මෙසේ පැවසුවේය. 

“අපි මේ ගොවිතැන් කරන්නේ අලි කටේ. සමහර ගොවියෝ අතින් වියදම් කරගෙන කොටු වටේ අලි වැටවල් ගහගෙන ඉන්නේ. කිසිකෙනකුට ගොවිතැන අස්කර ගන්නකන් රෑට නින්දක් නෑ. ලක්ෂ ගාණක් වියදම් කරලා වගා ළිං කපලා වතුර ගන්නේ. එහෙම බේරගන්න අස්වැන්නට මිලක් නැතිවුණාම හැමදේම ඉවරයි. දැන් කවුරුවත් නිලධාරින් මිනිස්සු කරන ගොවිතැන් ගැන හොයාන්න බලන්න එන්නෙත් නෑනේ. නිලධාරි කොච්චර හිටියත් ගොවිතැන් කරන මිනිස්සුන්ට වෙන සේවයක් නෑ.” 

මිරිස් ශ්‍රී ලංකා වාසීන්ට නැතිවම බැරී ආහාරයක් තරමටම වටිනා බෝගයක් බවට පත්වී ඇති අතර, රටේ දේශපාලනයට හා ආර්ථිකයට ද, බලපෑමක් ඇති කළ හැකි බලගතු බෝගයක් වී ඇත. පෝෂණයෙන් එකතු වන අගය කුඩා වුවත් අපේ ප්‍රධාන ආහාරය වන බතට මිරිස් නැතුවම බැරිය. බොහෝ පෝෂ්‍ය ජනක ආහාරවල රුචිය මෙන්ම රසය වැඩි දියුණු කරනුයේ මිරිස් යෙදීමෙනි. ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල වාර්ෂික වියළි මිරිස් පාරිභෝජන අවශ්‍යතාව කිලෝ ග්‍රෑම් දෙකහමාරක් පමණ වන බවට ගණන් බලා ඇත. 

මීගලෑවේ, පදවිගම චන්දිමා සංජීවනි පැවසුවේ මෙවැනි කරුණු පෙළකි. 

“මිරිස් වගාවේ හැමදේම වියදම්. අලින්ගෙන් මොනරුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. රැයක්, දවාලක් නැතිව ඇහැ ගහගෙන ඉන්න ඕන. සියඹලන්ගමුව පැත්තෙන් අලි රංචු පිටින් එන්නේ. පොඩ්ඩ බැරිවුණොත් කරපු වියදමයි, මහන්සියයි ඔක්කොම ඉවරයි. අපි ගොවිතැන් කෙරුවට අඩුම තරමින් කුඹුරක වගා ළිඳක් කපාගන්න තරම් උදව්වක්වත් අපිට හම්බ වෙලා නෑ. මිරිස් වගා කරන්න උදව් කරනවා කියලා එක එක ව්‍යාපෘති ගැන කියනවා. ඒවා නිකං ඇස්බැන්දුන් විතරයි. ඒ ව්‍යාපෘති ඒවයේ වැඩ කරන නිලධාරින්ට හොඳයි. මිනිස්සුන්ට වෙන යහපතක් නෑ.

මනාව සරුවූ අමු මිරිස් වගාවකින් මුර 15 ක් පමණ අස්වැන්න නෙළාගත හැකිය. එක මුරයකට කිලෝ 2000 ත් 2200 ත් අතර ගණනක් ගොවීහු අස්වැන්න ලෙස නෙළා ගනිති. මාළු මිරිස් අස්වැන්න ඊට මඳක් වැඩිවෙයි. ඉන් මුරයකට කිලෝ 2500 ක් පමණ නෙළාගැනීමේ වාසනාව ගොවීන්ට පෑදෙයි. වගා කන්නයකදී සරු මාළු මිරිස් වගාවකින් මුර 10 ක් පමණ අස්වැන්න නෙළාගැනීමට හැකිය. අස්වැන්න නෙළන වාරයක් පාසා වියදමද ඊට නොදෙවැනිව වියදමද උත්සන්න වෙයි. 

කලක් තිස්සේ මිරිස් වගාවේ යෙදෙන මීගලෑව, දෙකේ යායේ ඒ.එම්. සුනේත්‍රා මෙසේ කරුණු කීවාය.

පහුගිය කාලේ කතාවක් තිබ්බා මිරිස් අස්වැන්න වැඩියෙන් එන කාලෙට සීතාගාරවල දාලා තියලා මිරිස් හිඟවෙන කාලෙට වෙළෙඳපොළට දාන්න. ඒත් ඒවා නිකංම කතා විතරයි. කොහොම හරි මෙහෙම ගියොත් වෙන්නේ මිරිස් හදන ගොවියෝ කීපදෙනාත් මේ වගාවෙන් ඈත්වෙන එක. 

මිරිස් වගාවට යළි පණදීමේ දී වියළි කලාපයේ මිරිස් වගාවට සුදුසු ඉඩම් හඳුනාගෙන ජීව විද්‍යාත්මක හා යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම පිළිබඳව ගොවීන් දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව ද මතුවී ඇත. නිසි ප්‍රමිතියෙන් යුතු බීජ ගොවීන් වෙත හඳුන්වාදීම සහ පහසුවෙන් මිලදී ගැනීමේ ඉඩකඩ සැලසිය යුතුව ඇත. නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම මෙන්ම අතෝරක් ගැටලු‍ද ගොවීන් මිරිස් වගාවෙන් ඈත් වීමට හේතුවී තිබේ. 



අදහස් (0)

අලි අවදානමක මිරිස් වවන ගොවීන්ගේ අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site