චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගන්නා ඔස්ට්‍රේලියානු ජාතිකයන් ක්‍රිස්මස් දූපතට යවන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අද (29) පැවැසීය.

ඔස්ට්‍රේලියානු ජාතිකයන් 600කට ආසන්න පිරිසක් හුබෙයි පළාතේ සිටින බවත් කඩිනමින් ඔවුන් මුදාගැනීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා කීවේය.

බෝට්ටු මඟින් අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් රඳවා තැබෙන්නේ ක්‍රිස්මස් දූපතේය.

හුබෙයි පළාතෙන් සහ වූහාන් නගරයෙන් මුදාගන්නා ඔස්ට්‍රේලියානු ජාතිකයන් ක්‍රිස්මස් දූපතට යොමු කරන බවත් දින 14ක් ඔවුන් රඳවා තබාගෙන නිරෝධායනයට ලක් කරන බවත් කැන්බෙරා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් අග්‍රාමාත්‍ය මොරිසන් කීවේය.

මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. එම නගරයට මේ වනවිට සීල් තබා තිබෙන අතර ගමනාගමන තහනමක් ද පනවා තිබේ. ඒ අනුව කිසිවකුටත් නගරයෙන් පිටවීමට හෝ නගරය තුළට හෝ ගමන් කිරීමට නොහැක.

“අපට තිබෙන්නේ ඉතාම පුංචි අවස්ථාවක්. ඔස්ටේ්‍රලියානුවන් මුදාගැනීමේදී ප්‍රමුඛත්වය දෙන්නේ හුබෙයි පළාතට.

විශේෂයෙන්ම වූහාන් නගරයේ සිටින ඔස්ට්‍රේලියානු ජාතිකයන් මුදාගැනීම තමයි අපේ මූලික අරමුණ. අපි ඉතාම ඉක්මනින් පියවර ගනිමින් ඉන්නවා. මේ සැලසුම ඉක්මනින් ක්‍රියාත්මක කිරීම තමයි අපේ අරමුණ” යැයි අග්‍රාමාත්‍ය මොරිසන් කීවේය.
මුදාගන්නා ඔස්ට්‍රේලියානු ජාතිකයන් යැවෙන ක්‍රිස්මස් දූපතේ නිරෝධායන කටයුතු කිරීම සහ අදාළ අවශ්‍යතා හඳුනාගෙන ඒවාට පහසුකම් සැපයීමේ වගකීම ආරක්ෂක අංශ වෙත පවරා ඇතැයි ද හෙතෙම කීය.

ක්‍රිස්මස් දූපත යනු ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දුනීසියාවට දකුණු දෙසින් පිහිටි කුඩා දූපතකි. ඔස්ට්‍රේලියාව බෝට්ටු මාර්ගයෙන් එරටට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන රඳවා තැබෙන්නේ ද මෙම ක්‍රිස්මස් දූපතේය. චීනයේ සිට පැමිණි කොරෝනා වයිරසය ආසාදනය වුණු රෝගීන් පස් දෙනකු ඔස්ට්‍රේලියාවෙන් හමුවී ඇති බව ද පැවැසෙයි. රෝගී වූ මෙම පිරිස ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ මීට සති දෙකකට පමණ පෙරය.

ඒ.එෆ්.පී.

055