සිරියාවේ සිටින සෙබළුන් සියලු දෙනා එරටින් ඉවත් කරගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් වන බව ඇමෙරිකා මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය ඒ බව වාර්තා කර තිබිණි.

සිරියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද සෙබළුන් කඩිනමින් එරටින් ඉවත් කරගැනීමට සැලසුම් කරන ලෙස ධවල මන්දිරය පෙන්ටගනයට උපදෙස් දී ඇතැයි සී.බී.එස් පුවත් සේවය වාර්තා කළේය. 

සිරියාවේ සිටින ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කළ බවත් සිරියාවේ රැඳි සිටියේ එම හේතුව නිසා පමණක් බවත් ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් සඳහන් කර ඇත. ඉස්ලාමික් ස්ටේට් සංවිධානය මුලින්ම හඳුන්වනු ලැබුවේ අයි.එස්.අයි.එස් නමිනි. 

සිරියාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් අයි.එස්. ත්‍රස්තයන් පරාජයට කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විශාල සහයෝගයක් ලබා දුන්නේය. කෙසේ නමුත් සටන්කාමීන් සුළු පිරිසක් තවමත් එම ප්‍රදේශවල රැඳී සිටි බව පැවසේ. 

සටන්කාමී කණ්ඩායමේ නැවත ගොඩනැගීම වැළැක්වීම තහවුරු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන්ට අවශ්‍ය වී ඇතැයි ද වාර්තා වේ. 

බී.බී.සී ඇසුරිනි 

055