දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ සිරියාවේ පවතින ගැටුම් සම්බන්ධයෙන් බටහිර රටවල සහාය ඇතිව අරාබි ලීගය විසින් සකස් කොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව රුසියාව සහ චීනය නිෂේධ බලය යොදා ප‍්‍රතික්ෂේප කිරීම බටහිර රටවල්  සහ එහි ජනමාධ්‍ය හඳුන්වන්නේ බරපතළම ඛේදවාචකයක් ලෙසිනි. ඔවුන් දකින ආකාරයට සිරියානු ජනාධිපති බෂීර් අල් අසාඞ් සිය නියෝජ්‍ය නායකයකුට බලය පවරා ඉවත් විය යුතු යැයි සඳහන් වන මෙම යෝජනාව සම්මත කිරීමෙන් සිරියානු ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස භුක්ති විඳීමට අවස්ථාවක් ලැබෙනු ඇත. ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවල් 13ම සහාය ලද මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමෙන් රුසියාව සහ චීනය සිරියානු ජනතාව තවදුරටත් කුරිරු පාලකයකු යටතේ පීඩාවට පත් කිරීමට දොර  විවර කරති. එම නිසා එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපති සුසාන් රයිස් මෙය පිළිකුල් සහගත තත්ත්වයක් ලෙස හැඳින්වූවාය. එක්සත් ජනපද ජනාධිපති ඔබාමා සඳහන් කරන ආකාරයට සිරියානු ජනතාව විශේෂයෙන් හොමස් හි ජනතාව කිව නොහැකි තරම් පීඩනයට ලක් කිරීමකි. අරාබි වසන්තය නමින් හැඳින්වෙන ජනතා නැගිටීමේ ව්‍යාප්තියක් ලෙස සැලකෙන සිරියානු උද්ඝෝෂණය තුළින් බෂීර් අල් අසාඞ් බලයෙන් ඉවත් කිරීමට හැකි වනු ඇතැයි බටහිර රටවල හා ඊශ‍්‍රායෙලයේ දැඩි අපෙක්ෂාවක් තිබිණි. ඉරානය සමගත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා පලස්තීනයේ හමාස් සංවිධානය සමග සමීප සබඳතා පවත්වන එකම අරාබි රට වන සිරියාව දිගු කලක සිටම බටහිර රටවල් සලකන ලද්දේ තම පාලනයට නතු කර ගත නොහැකි හිතුවක්කාර රාජ්‍යයක් සේය. සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ නිසා සම්බාධකවලට ලක්ව සිටින ඉරානය සම්පූර්ණයෙන් අඩපණ කිරීමට හෝ එහි පාලනය වෙනස් කිරීමට පෙර සිරියාව මෙල්ල කර ගැනීම උපාය මාර්ගික අවශ්‍යතාවක් ද විය. එක්සත් ජනපදයට ලෙබනනය තුළ සිය බලය තහවුරු කර ගැනීමට අභියෝගයක් වන හිස්බුල්ලා ව්‍යාපාරය යටපත් කළ නොහැකි වන්නේ ද සිරියානු සහයෝගය නිසා යැයි ද පිළිගැනීමක් පවතී. හිස්බුල්ලා සංවිධානයට ඉරාන ආධාර ලැබෙන්නේ ද සිරියාව හරහාය. එමෙන්ම පලස්තීනයේ හමාස් සංවිධානයේ නායකත්වයට රැකවරණය ලැබුණේ ද සිරියාවෙනි. එම නිසා හොමස් නගරයේ  අරාබි ජනතා උද්ඝෝෂණ බෂීර් අල් අසාඞ්ගේ පාලනය වෙනස් කිරීමට කදිම අවස්ථාවක් ලෙස බටහිර රටවල් දුටු බවට සැකයක් නැත. ලිබියාවේ ගඩාෆිගේ පාලනයට එරෙහිව නැගුණු ජනතා උද්ඝෝෂණ ඔහුගේ පාලනය බිඳ දැමීමට අවස්ථාවක් කරගත් ආකාරය තවමත් මතකයෙන් ඉවත්ව නැත. එහෙත් ගඩාෆි පාලනය බිඳ දැමීමට යොදා ගත් උපාය මාර්ගය සිරියාව සම්බන්ධයෙන් ද යොදා ගැනීමට පහසු වූයේ නැත. ලිබියානු ජනතාව ගඩාෆිගේ හමුදාවේ මර්දනයෙන් මුදා ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ගුවන් තහනම් කලාපයක් ක‍්‍රියාත්මක කිරීමට සම්මත කළ යෝජනාව වඩාත් ඉදිරියට ගෙන ගොස් ලිබියානු හමුදා ඉලක්කවලට මෙන්ම පාලන මධ්‍යස්ථානවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ද යොදා ගැණින. එම යෝජනාව ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත කර ගැනීමේ දී රුසියාව හෝ චීනය විරුද්ධ වූයේ නැත. ගුවන් තහනම් කලාපය නේටෝ ගුවන් ප‍්‍රහාර දක්වා වර්ධනය වන විට එම රටවල් දෙකට කළ හැකි කිසිත් වුයේ ද නැත. එම නිසා මෙවර සිරියාව සම්බන්ධයෙන් එවැනි වැරැද්දක් නොකිරීමට ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි ඒ රටවල් දෙකම තීරණය කළ බව පැහැදැලිය. පසුගිය ඔක්තෝබර් මාසයේදී ද සිරියාව සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩල යෝජනාවක් සම්මත කිරීමට ගත් උත්සාහය රුසියානු විරෝධය නිසා වැළකිණි. මියුනික් හි ආරක්ෂක සමුළුවකට සහභාගි වු රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රොව් පවසන ආකාරයට අරාබි ලීගයේ යෝජනාවක් ලෙස ඉදිරිපත්ව ඇති ලේඛනය සම්බන්ධයෙන් මූලික වශයෙන් රුසියාවේ විරුද්ධත්වයක් නැත. එහෙත් මෙම යෝජනාවෙන් සිරියාවේ පවතින තත්ත්වය නිසි ලෙස සැලකිල්ලට ගෙන නොමැති නිසා ඉන් සිදුවන්නේ තත්ත්වය වඩාත් ව්‍යාකූල කිරීමකි. සිරියාව තුළ සන්නද්ධ කණ්ඩායම් රජයේ හමුදාවලට ප‍්‍රහාර එල්ල කරන තත්ත්වයක් තුළ රජයේ හමුදා නගරවලින් ඉවත් කිරීමට බල කිරීමෙන් සිදුවන්නේ නගරවල පාලනය සටන්කාමීන් අතට පත් කිරීමය. සිවිල් යුද තත්ත්වයක් පවතින විට එක පාර්ශ්වයක් කෙරේ පමණක් බැඳීම ඇති වන යෝජනාවක් සම්මත කිරීමෙන් එක්සත් ජාතීන් ඒ රටේ අභ්‍යන්තර ගැටුමකට මැදිහත්වීමක් කරන අතර එය එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට ද පටහැනිය. එම නිසා සිරියාව සම්බන්ධයෙන් කෙරෙන යෝජනාවක් දෙපාර්ශ්වයටම එක සේ බලපෑ යුතුය. චීනය නිශේධ බලය යොදා ඇත්තේ මෙවැනිම කරුණු දැක්වීමක් ඔස්සේය. මීට අමතරව රුසියාව තවත් කරුණු දෙකක් සම්බන්ධයෙන් බටහිර රටවල් සිය බලපෑම යෙදවිය යුතු යැයි යෝජනා කරයි. එනම් සිරියානු විපක්‍ෂ කණ්ඩායම් අන්තවාදීන් සමග පවත්වන සම්බන්ධතා නතර කිරීම හා විපක්‍ෂයේ සන්නද්ධ කණ්ඩායම්වලට අවි ආයුධ ලබා ගැනීමේ අවස්ථා නතර කිරීමයි. තුර්කිය පදනම්ව ක‍්‍රියාත්මක වන නිදහස් සිරියානු හමුදාවට සෞදි අරාබිය හා කටාර් යන රාජ්‍ය දෙක විවෘතවම ආධාර ලබා දෙන අතර, සමහර වාර්තා අනුව බටහිර රටවල ඔත්තු සේවා හරහා හමුදා පුහුණු කිරීම් ද සිදුවේ. එය බොහෝ දුරට ලිබියාවේ කැරලිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ක‍්‍රියාමාර්ගයට සමානය. ලිබියාවේ කැරලිකරුවන්ට එහි බෙන්ගාසි ප‍්‍රදේශයේ සිය බලය තහවුරු කර ගැනීමෙන් රට තුළම පදනම් ප‍්‍රදේශයක් ස්ථාපිත කර ගැනීමට හැකි වුවද සිරියානු සන්නද්ධ කණ්ඩායම්වලට තවමත් එවැනි හැකියාවක් ලැබී නැත. එහෙත් හමුදාව හැරගිය සෙබළුන්ට සිරියානු රජයේ හමුදාවන්ට පහර දීමටත්, බරපතළ හානි සිදු කිරීමටත් හැකියාවක් පවතී. ඔවුන්ට බටහිර රටවලින් අවශ්‍ය ආයුධ ලැබෙන බව පුවත් වාර්තාවලින් තහවුරු කෙරේ. ඊට අමතරව සිරියාවේ පාලනයේ වෙනසක් කිරීමට තුර්කිය සූදානම් බව අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කර තිබිණ. කැරලිකරුවන්ට විදේශ රටවල සහාය ලැබෙන බවට තවත් සාධකයක් ලෙස සමහර නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ මෙතෙක් ගැටුම් හටගත් ප‍්‍රදේශ සියල්ලම තුර්කි හෝ ජෝර්දාන් ඊශ‍්‍රායල් දේශසීමා අසල වීමය. දිගු කලක් තිස්සේ සුළුතරයක් වූ (මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 10ක් පමණ වන) අලවයිට් ෂියා ආගමික පාලනයකට නතුව ඇති සිරියාවේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රීය වෙනස්කම් අවශ්‍ය බවට සැකයක් නැත. ටියුනිසියාවෙන් ඇරඹුණ ජනතා උද්ඝෝෂණ හා ඒ තුළින් ඒකාධිපති පාලකයින් පන්නා දැමීමට හැකි වීම ඔවුන්ට ආශ්වාදයක් වීම ද තේරුම් ගත හැක. එහෙත් බටහිර රටවල් හා අරාබි ලීගයේ ඒකාධිපති පාලකයින් සිරියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට උන්දු වන්නේ යැයි කිසිවෙකුට කිව නොහැක. අරාබි ලීගයේ නායක රටක්වන සෞදිඅරාබියේ ජනතාවට මොනම ආකාරයෙන් හෝ එහි පාලකයින් විවේචනය කිරීමට හෝ කිසියම් ප‍්‍රතිපත්තියකට විරුද්ධවීමට ඉඩක් නැත. ආරක්ෂක මණ්ඩලයෙන් යෝජනාව ප‍්‍රතික්ෂේප වීමෙන් පසු ප‍්‍රකාශයක් කළ සිරියානු රජයේ නියෝජිතයා ස්ත‍්‍රීන්ට පාපන්දු තරගයක් නැරඹීමට පවා ඉඩක් නොදෙන සෞදි අරාබියට සිරියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක් දැයි ප‍්‍රකාශ කළේය. අරාබි ලීගයේ අනෙක් රටවල් හෝ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හිමිව නැත. බටහිර ජනමාධ්‍ය විසින් අමතක කර ඇති තවත් කාරණයක් වන්නේ අරාබි ලීගයෙන් සිරියාවට යවන ලද නිරීක්ෂක කණ්ඩායමේ වාර්තාවයි. ඔවුන් සඳහන් කරන ආකාරයට සිරියාව තුළ පවතින ප‍්‍රචණ්ඩත්වයට එරට ක‍්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් ද වගකිවයුතුය. එමෙන්ම තත්ත්වය යහපත්වීමේ ප‍්‍රවණතාවක් පවතින නිසා මාසයකට සීමා කර ඇති නිරීක්ෂණ කණ්ඩායමේ නිල කාලය තවත් දීර්ඝ කිරීමෙන් වර්ධනය වන තත්ත්වය ගැන නිසි ඇගයීමක් කළ හැකිය. එහෙත් අරාබි ලීගය ඊට එකඟ නොවී ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් හා නිරීක්ෂණ වාර්තාව ප‍්‍රතික්ෂේප කිරීමෙන් පෙනී යන්නේ බෂීර් අල් අසාඞ්ගේ පාලනය වෙනස් කිරීමේ අවශ්‍යතාව වඩාත් ඉස්මතු වීමය. කෙසේ වුවත් ආරක්ෂක මණ්ඩලයෙන් මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප වීමෙන් සිරියාව කෙරේ ඇති බටහිර බලපෑම තුනී වන්නේ යැයි කිව නොහැකිය. සර්බියාව සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකි බව දුටු එක්සත් ජනපදය ඒ සඳහා නේටෝ රටවල අනුමැතිය ප‍්‍රමාණවත් යැයි සලකා ගුවන් ප‍්‍රහාර එල්ල කළේය. සිරියාවේ පවතින තත්ත්වය තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි පැවසූ ප‍්‍රංශ ජනාධිපති සාර්කෝසි සිරියාවට බලපෑම් කිරීම සඳහා සිරියානු මිතුරු හවුලක් පිහිටුවීමට යෝජනා කෙළේය. එවැනි අදහසක් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය ද පැවසුවාය. සිරියාවට එරෙහිව ඍජු හමුදාමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට බටහිර රටවල් මෙතෙක් සූදානම් නොමැති වුවද, සිරියානු විපක්‍ෂ කණ්ඩායම්වලට දේශපාලන සහායක් නිදහස් සිරියානු හමුදාවට අවිආයුධ හා පුහුණුව  ලබාදීමටත්,  පියවර ගත යුතු බව දැනටමත් විවිධ අංශවලින් ප‍්‍රකාශ කෙරේ. අනෙක් අතට රුසියාව හෝ චීනය ඍජු මැදිහත්වීමකට සූදානම් යැයි කීම අසීරුය. මෙවැනි තත්ත්වයක් යටතේ සිරියාවේ අසාඞ්ගේ පාලනය කොපමණ කාලයක් පවතින්නේ ද යන්න ස්ථිර නොවන නමුත්, එහි ප‍්‍රතිඵලය වන්නේ තවත් ඉරාකයක් හෝ ඇෆ්ගනිස්ථානයක් බිහිවීම බවට සැකයක් නැත.
සටහන: මහින්ද හත්තක
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීම සිරියානු ජනාධිපතිට සහාය දක්වන කණ්ඩායමක පෙළපාළියක් සිරියානු ජනපති අසාඞ්  සහ රුසියාවේ විදේශ ඇමැති සිරියානු ජනාධිපති අසාඞ්ට විරුද්ධ කණ්ඩායමක්