සිරියා ජනපති බෂීර් අසාද්ගේ රජය රසායනික අවි යොදාගෙන එරට කැරැලිකරුවන්ට පහරදෙන බවට එල්ල වන චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ලැබී ඇතත්, සිරියාවට පහරදීම ගැන දෙවරක් සිතා බලන බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
ජනපති ඔබාමා මේ බව කියා සිටියේ ඊයේ (1) ධවල මන්දිරයේ සිට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
සිරියානු රජය සතුව රසායනික අවි ඇති බව ඇමෙරිකාව ලොවට හෙළි කළේ මීට මාස කිහිපයකට පෙරය. එම අවස්ථාවේදී ද ජනපති ඔබාමා සිරියානු රජයට කීවේ රසායනික අවි යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසය.
සිරියානු රජය කැරැුලිකරුවන්ට රසායනික අවිවලින් පහර දෙන බවත්, එම ප‍්‍රහාරවලින් සිරියානු සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් වන බවත් චෝදනා එල්ල වීම පටන් ගත්තේ මීට දෙසතියකට පෙරය.
එම චෝදනා සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වූ ඒ ගැන විශේෂ පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය.
සිරියානු ජනපති අසාද්ගේ රජය කැරැලිකරුවන්ට රසායනික අවි යොදාගෙන පහර දෙනවා යැයි චෝදනා කරමින්, එය නිමිත්තක් කර ගෙන සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට බටහිර රටවල් සූදානම් වන්නේ නම් ඒ අදහස වහාම අත්හරින්නැයි රුසියාව අනතුරු අඟවා ඇත.
ලිබියාවට කළාක් මෙන් සිරියා රජය පෙරළා දැමීමට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වළකින්නැයි ද රුසියාව සෙසු බටහිර බලවතුන්ට අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා යෝජනාවලීන් සම්මත කර ගැනීමට අවස්ථා දෙකකදී උත්සහ කළත් රුසියාව නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය දැක්වීය. ඊට චීනයේ ද සහාය හිමිවිය.