ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, එම පක්ෂයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි යන තිදෙනාට ලබා දී තිබු ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීමට එරට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

සෝනියා ගාන්ධි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන රජිව් ගාන්ධිගේ බිරිඳය. රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි ඔවුන් දෙදෙනාගේ දරුවෝ වෙති. ඒ අනුව ඉන්දියාවේ අගමැතිවරුන්ට, හිටපු අගමැතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂාව ලබාදීම විශේෂ ආරක්ෂණ කණ්ඩායම (එස්.පී.ජී) නමින් 1988 දී ප්‍රභූ ආරක්ෂක කණ්ඩායමක් පිහිටුවන ලදි.

ගාන්ධි පවුලට 1989 සහ 1991 යන අවුරුදු දෙක හැරුණු විට වසර 30කට වැඩි කාලයක් මෙම ප්‍රභූ ආරක්ෂාව ලබා දී තිබූ අතර ගාන්ධි පවුලට ලබා දී තිබූ එම ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීමට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුණ ආණ්ඩුව ගත් තීරණයත් සමඟ ඉන්දීය දේශපාලන තුළ ද විශාල කතාබහක් ඇති වී තිබේ.

රජිව් ගාන්ධිගේ මව වන ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි 1984 දී ඝාතනයට ලක්වීමත් සමඟ එවැනි ප්‍රභූ ආරක්ෂක කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අදහස ඇතිවිය.

ගාන්ධි පවුලට ලබා දී තිබූ ආරක්ෂාව එලෙස ඉවත් කරන ලද අතර පසුගිය අගෝස්තු මාසයේදී හිටපු අගමැති ආචාර්ය මන් මෝහන් සිං ට ලබා දී තිබූ ප්‍රභූ ආරක්ෂාව ද ඉවත් කළේය. හිටපු අගමැති ආචාර්ය මන් මෝහන් සිං ට මෙන්ම ගාන්ධි පවුලට ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන පොලිස් සහ කොමාන්ඩෝ ආරක්ෂාව (සී.ආර්.පී.එෆ්) ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව දැනට ප්‍රභූ ආරක්ෂාව ලැබෙන (එස්.පී.ජී) එකම ‘ඉතාම වැදගත් ප්‍රභූවරයා’ (වී.වී.අයි.පී) වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පමණි.

ආරක්ෂක අංශවල සහ බුද්ධි තොරතුරු මෙන්ම ප්‍රභූවරුන්ට තිබෙන තර්ජන ඔවුන්ගේ ආරක්ෂාව යනාදී කරුණු සියල්ල විශ්ලේෂණය කරමින් මෙම පියවර ගෙන තිබෙන බව ගාන්ධි පවුලට ලබා දී තිබූ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීමෙන් පසු ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.

විශේෂ ආරක්ෂණ කණ්ඩායම (එස්.පී.ජී) ප්‍රභූ ආරක්ෂක අංශය සතුව නවීන වාහන, අධි තාක්ෂණික උපකරණ තිබුණ ද පොලිස් සහ කොමාන්ඩෝ ආරක්ෂාව (සී.ආර්.පී.එෆ්) ආරක්ෂක අංශයට එවැනි පහසුකම් නොමැති බව පැවසේ. එසේම එස්.පී.ජී ප්‍රභූ ආරක්ෂක අංශයේ නඩත්තු වියදම අධික බව ද පැවසේ.

ඊට අමතරව අවස්ථා කිහිපයකදීම ගාන්ධි පවුලේ සාමාජිකයන් ‘විශේෂ ආරක්ෂණ කණ්ඩායම (එස්.පී.ජී)’ ප්‍රභූ ආරක්ෂක අංශයේ වාහන සහ ආරක්ෂව තෝරා ගනිමින් සාමාන්‍ය වාහනවල ගමන් කර ඇති බවත් විදෙස් සංචාරවලදී එම ආරක්ෂාව යොදාගෙන නැති බවත් ආරංචි මාර්ගවලින් කියැවිණි.

කෙසේ නමුත් ආණ්ඩුව ගත් තීරණයට කොංග්‍රස් පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණු අතර මෝදි ආණ්ඩුව බංකොළොත් වී ඇතැයි ද චෝදනා එල්ල විය. මෝදි ආණ්ඩුව මානසික බංකොළොත්භාවයකට පත්ව ඇතැයි තවත් චෝදනාවක් එල්ල වී තිබූ අතර ගාන්ධි පවුලට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීම සාහසික, දරුණු සහ මෝඩ තීන්දුවක් යැයි ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පී. චිදම්බරම් මහතා සඳහන් කර තිබිණි. තමන් වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන්නැයි පී. චිදම්බරම් මහතා ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබිණි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා දේශපාලන පළිගැනීම්වලින් අන්ධ වී ඇතැයි ද සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධිට දී තිබූ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීම දේශපාලන වෛරයෙන් ගත් තීරණයක් යැයි ද ඉන්දීය ජාතික කොංග්‍රසයේ, සමස්ත ලංකා කොංග්‍රස් කමිටුවේ මහලේකම් කේ.සී. වෙනුගෝපාල් චෝදනා කර තිබිණි.

මේ අතර සෝනියා ගාන්ධි විශේෂ ආරක්ෂණ කණ්ඩායම (එස්.පී.ජී)ට ඔවුන් දුන් සේවයට ස්තූති කරමින් ලිපියක් යවා තිබූ අතර රාහුල් ගාන්ධි ඔවුන්ට කෘතඥ වෙමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
 
055