බ‍්‍රසීල රජයට එරෙහිව විරෝධතා පවත්වන පිරිස් ඊයේ (21) එරට රියෝ දි ජිනැයිරෝ නුවර පිහිටි විදේශ කටයුතු අමත්‍යාංශය වටලා, ඊට කඩා වැදී කලහ කරන්න වූ අතර, කැරැලි මර්දන පොලිස් නිලධාරීහු පැමිණ එම පිරිස් විසුරුවා හැරියහ.
විරෝධතාකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි. රියෝ දි ජිනැයිරෝ නුවරට රැස්ව සිටින විරෝධතාකරුවන්ගේ ගණණ 3,000 ඉක්මවයි.
පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ගම් මිරිස් දියර සහ බැටන් පොලූ ප‍්‍රහාර යොදා ගනිමින් පහර දී ඇතැයි ද වාර්තා විය.
විදේශ කටයුතු අමත්‍යාංශයට කඩා වැදුණු විරෝධතාකරුවන් ගණන 1000 කට වැඩි යැයි එරට පුවත් සේවා පෙන්වා දෙයි.
කෝපයට පත්ව සිටි පිරිස් පොලිස් නිලධාරීන් සමඟ ද ගැටුම් ඇති කරගත් බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටිති.
බ‍්‍රසීලයේ රාජ්‍ය විරෝධී රැල්ලක් ආරම්භ වී ඇත්තේ දුෂණ වංචා ඉහළ යෑම, මහජන සේවා අඩපණ වීම, පොලිසියේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩිවීම ආදී චෝදනා රැසක් බ‍්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ්ගේ රජයට එරෙහිව එල්ල වීමත් සමඟය.
ලබන වසරේදී එනම් 2014 දී බ‍්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට ලහිලහියේ සූදානම් වෙමින් සිටී.
රටේ ජනතාව ආර්ථික අපහසුතාවලින් සහ විරැුකියාවෙන් පීඩා විඳිමින් සිටිද්දී, රජය ලෝක කුසලාව පාපන්දු තරගාවලිය වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කිරීම ද විරෝධතාකරුවන්ගේ දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.
මේ වනවිට රියෝ දි ජිනැයිරෝ නුවර පමණක් නොව, සැල්වදෝර්, බාහියා ආදී බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගර 10 ක විරෝධතා පැවැත්වෙන අතර එම විරෝධතා මර්දනය කිරීමට කැරැලි මර්දන පොලිසිය යොදවා ඇත.