අන්තර්ජාල වෙබ් අඩවිවලට ඇති නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට ඇමෙරිකානු කොංග‍්‍රස් සහ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත් දෙකට ධවල මන්දිරයෙන් ද විරෝධයක් එල්ල වෙමින් පවතී. අන්තර්ජාලය හරහා විවිධාකාරයේ අපරාධ, පුද්ගල චරිත ඝාතන සහ අපහාසාත්මක දේ සිදුවන බව ඔබාමා පරිපාලනය ද පිළිගන්නා අතර ඒවා මර්දනය කිරීමට සැකැසූ පනත් කෙටුම්පත් දෙක, කි‍්‍රයාත්මක කිරීමේදී ගැටලූ රැසක් පැන නැගෙනු ඇති බවත් ඔබාමා පරිපාලනය පෙන්වා දෙයි. එම පනත් කොංග‍්‍රස් සහ සෙනෙට් මණ්ඩලය හමුවේ සම්මත වුවහොත් ජනපති ඔබාමා ඊට මැදිහත් වී ඔහුගේ නිෂේධ බලය භාවිතා කොට පනත අහෝසි කරනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.