ලෝකයට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ සහ අනෙකුත් ආරක්ෂිත උපකරණ නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

“ලෝකය දැවැන්ත හිඟයකට මුහුණ දී සිටිනවා. ලෝකයට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ නැහැ. ඒ වගේම ප්‍රමාණවත් තරම් ආරක්ෂිත උපකරණ නැහැ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනම් පැවැසීය.

ස්විට්සර්ලන්තයේ ජිනීව නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩල රැස්වීමකට එක්වෙමින් ඔහු ඒ බව කීවේය.

මුඛ ආවරණ සහ ඇතැම් වෛද්‍ය, ආරක්ෂිත සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය හා උපකරණවල මිල සාමාන්‍ය ප්‍රමාණයට වඩා 20 ගුණයකින් වැඩි වී ඇතැයි ද හෙතෙම කීය.

අසනීප තත්ත්ව නොමැති සහ වෛද්‍ය කාර්යමණ්ඩල නොමැති පිරිස් මුඛ ආවරණ භාවිත කිරීමත් මුඛ ආවරණවල වැරැදි භාවිතයත් නිසා රටවල් රැසක් මේ වනවිට දැඩි අර්බුදවලට මුහුණ දී ඇතැයි ඔහු පැවැසීය.

“මේ නිසා ඉදිරි මාස හතරත් හයත් අතර කාලයට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ නැහැ. ඒ වගේම අනෙකුත් උපකරණත් නැහැ. මේ තත්ත්වය නිසා ගෝලීය හිඟයක් ඇතිවෙලා. ලෝක සෞඛ්‍ය සංවිධානයට ද ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ සහ අනෙකුත් ආරක්ෂිත උපකරණ නැහැ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීවේය.

“මෙතැන සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයකුත් තියෙනවා” යැයි ඔහු කීය.

මුඛ ආවරණ, අනෙකුත් වෛද්‍ය, ආරක්ෂිත සහ සනීපාරක්ෂක උපකරණ හා ද්‍රව්‍ය සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් වෛද්‍ය කාර්යමණ්ඩලවලට පමණක් අදාළ ද්‍රව්‍ය අලෙවි කිරීමට ඔවුන් එකඟ වූ බවත් හෙතෙම කීය.  

ඒ.එෆ්.පී.

055