අසාමාන්‍ය හිම පතනයෙන් එදිනෙදා ජන ජීවිතය අවුලට පත් කාශ්මීර් නිම්නය නැවත වරක් දකුණු ආසියාවේ උණුසුම් පුවත් මවන ස්ථානයක් බවට පත් වූයේ ජනවාරි 9 වැනිදා පාලන රේඛාව නමින් හැඳින්වෙන පාකිස්ථානය හා ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරය වෙන් කරන සීමාවේ හටගත් වෙඩි හුවමාරුවකින් පාකිස්තානු භටයෙක් මිය යෑමෙනි. ඉන් දින තුනකට පසු ඉන්දියානු හමුදා භටයින් දෙදෙනෙක් පාකිස්තානු වෙඩි ප‍්‍රහාරවලින් මියගියහ. මෙම සිද්ධිය වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූයේ එම හමුදා භටයින්ගේ මළ සිරුරුවලින් ඔවුන්ට වද හිංසා පමුණුවා ඇති බව පෙනෙන්නේයැයි ඉන්දියානු හමුදාව චෝදනා කිරීමත් සමගය. වෙඩි හුවමාරුවකදී හමුදා භටයින් මිය යෑම සාමාන්‍ය තත්ත්වයක් යටතේ පිළිගත හැකි වුවද වද හිංසා පැමිණවීම කිසිසේත් ඉවසිය නොහැකි තත්ත්වයකි.

මන් මෝහන් සිංග්

එම නිසා ඉන්දියානු ගුවන් හමුදා ප‍්‍රධානි එන්.ඒ.කේ. බ‍්‍රවුනි ප‍්‍රකාශයක් කරමින් පාලන රේඛා ප‍්‍රදේශයේ සාමය පවත්වා ගැනීම සඳහා වෙනත් ක‍්‍රියාමාර්ග ගැනීමේ අයිතියක් තමන්ට ඇතැයි පැවසුවේය. හමුදා ප‍්‍රධානි ජනරාල් බික‍්‍රාම් සිංග් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ අයිතිය අවධාරණය කළේය. එම ප‍්‍රකාශ දෙකින්ම පැහැදිලි වූයේ කාශ්මීරය සම්බන්ධයෙන් නැවත වරක් මෙම න්‍යෂ්ඨික බලවතුන් දෙදෙනා අතර යුද්ධයක් හට ගැනීමේ අනතුර වෙන කවදාටත් වඩා වැඩිය යන්නයි.


හමුදා ප‍්‍රධානීන් අතර වාග් ප‍්‍රහාර උත්සන්න වෙත්ම දේශපාලන නායකයින් ප‍්‍රතිචාර දැක්වූයේ ඊට නොදෙවැනි ආකාරයෙනි. හින්දුත්ව සංකල්පය මුල් කර ගන්නා භාරතීය ජනතා පක්ෂය මුස්ලිම් පාකිස්තානයට නිසි පාඩමක් ඉගැන්වීමට පසුබටවීම ගැන කොංග‍්‍රස් රජයට චෝදනා කරමින් එය ඉදිරියේ එළඹෙන මහා මැතිවරණය සඳහා හොඳ පිවිසුමක් කර ගන්නා බව පැහැදිලිවම දක්නට ලැබිණ. මෙවැනි ගැටුම්කාරී තත්ත්ව තුළ සන්සුන් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සමත් අගමැති මන්මෝහන් සිංග් ප‍්‍රතිචාර දැක්වූයේ ද යුද්ධය හැර වෙනත් විකල්පයක් නැතිසේය. ජනවාරි 15 වැනිදා ප‍්‍රකාශයක් කළ අගමැති මන්මෝහන් සිංග් පාකිස්තානය සමග නැවත වරක් සුපුරුදු පරිදි ගනුදෙනු සිදු නොවනු ඇතැයි සහතික වූයේය. ඒ බව සනාථ කරමින් ඉන්දියාවෙ හොකි ක‍්‍රීඩා සමාජයක කොන්ත‍්‍රාත් පදනම යටතේ ක‍්‍රීඩා කිරීමට පැමිණි

සර්දාරි

පාකිස්තානු හොකි ක‍්‍රීඩකයින් ආපසු හරවා යවන ලදී. පාලන රේඛාව හරහා දෙපාර්ශ්වය අතර නැවත වරක් වෙඩි හුවමාරුවීම ද වාර්තා විය. පාකිස්තාන විදේශ ඇමතිනි හිනා බේනා වොර් උද්ගත වී ඇති තත්ත්වය ගැන ඉහළ මට්ටමේ සාකච්ඡුා පැවැත්වීමට ජනවාරි 9 වැනිදා කළ යෝජනාව ඉන්දියානු රජයේ සැලකිල්ලට යොමු වූයේ නැත. පාකිස්තානු රජයේ යෝජනාව ඉන්දියානු රජය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළේ උද්ගතවී ඇති තත්ත්වය ගැන පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ කමිටුවක් පිහිටුවිය යුතු යැයි ඉල්ලා සිටි හෙයිනි.


ඉන්දියානු රජය වඩාත් බරපතළ තත්ත්වයකට සූදානම් බවට ඉඟියක් වූයේ ජනවාරි 21 වැනිදා කාශ්මීරයේ පළවන පුවත්පතක න්‍යෂ්ඨික ප‍්‍රහාරයකදී ගත යුතු ආරක්ෂක පියවර ගැන ජනතාව දැනුවත් කිරීමට පළ කළ ලිපියකිනි. කාශ්මීරයේ පොලිසිය යටතේ ක‍්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක අංශයේ ප‍්‍රධානි මුබාරක් ගානි නිකුත් කර ඇති ලිපියෙන් න්‍යෂ්ඨික ප‍්‍රහාරයකදී ආරක්ෂා වීම සඳහා කාශ්මීර වැසියන්ට භූගත බංකර් තනා ගැනීමට උපදෙස් දී තිබිණ. භූගතව ඉදිකෙරෙන එම බංකර්වල අඩුම වශයෙන් සති දෙකක් සඳහා ප‍්‍රමාණවත් ආහාර තොග ගබඩා කරගත යුතු අතර එහි වැසිකිළි පහසුකම් ද තිබිය යුතුය. එම ලිපියේ මාතෘකාව වූයේ න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා සොයන අවි ප‍්‍රහාරයකින් ආරක්ෂාවීම යනුවෙනි. මෙම ලිපිය පළවීමත් සමග ඇතිවූ ආන්දෝලනය නිසා උපදෙස් නිකුත් කළේ සාමාන්‍යයෙන් ජනතාවගේ දැනුම සඳහා විනා න්‍යෂ්ඨික ප‍්‍රහාරයක් පිළිබඳ ආසන්න අනතුරක් පැවතීම නිසා නොවේ යැයි ඉන්දියානු රජය අවධාරණය කළ ද තත්ත්වය ඊට වඩා බරපතළ විය හැකි බව සමහර නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ඊට මූලික හේතුව වන්නේ කාශ්මීර ගැටලූව විසඳා ගැනීමට මෙතෙක් ගත් සියලූ පියවර නොසිතූ ආකාරයෙන් ව්‍යාර්ථ වීමෙනි.

ඉන්දියාවේ සිටින පකිස්තාන මහ කොමසාරිස්


පාකිස්තානු හමුදා පාලක පර්වේස් මුසාරෆ් යෝජනා කළ විසඳුම් බොහෝ නිරීක්ෂකයින් සඳහන් කරන ආකාරයට ගැටලූවට පිළිගත හැකි විසඳුමක් සඳහා හොඳ පිවිසුමකි. එම යෝජනාව අනුව කාශ්මීරය ඉන්දියාවෙන් වෙන් වීමක් අපේක්ෂා කරන්නේ නැත. එමෙන්ම දැනට මත භේදයට තුඩු දී ඇති පාලන රේඛා (Line of control) ස්ථීර දේශ සීමා ලෙස පිළිගත යුතු නැත. වැදගත්ම කරුණ වන්නේ භූමි ප‍්‍රදේශයේ ආරක්ෂාව සහතික කරමින් කාශ්මීරයට ස්වයං පාලනයක් ලබා දීමය. මෙම යෝජනා ඉදිරිපත් වීමත් සමග පාකිස්තානයේ හා ඉන්දියාවේ සිදු වූ දේශපාලන වෙනස්කම් නිසා ඒවා යටපත් වුවද පාකිස්තානයට හා ඉන්දියාව අතර පවතින මතභේද විසඳා ගැනීමට හොඳ පදනමක් විය හැකිව තිබිණ. දැනට දෙරට අතර සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීමට මූලික බාධකය වන්නේ කාශ්මීරයයි. එය නොසලකා දෙරට අතර ආර්ථික හා වානිජ සම්බන්ධතා අති කර ගැනීමටත් සීමා කිරීම්වලින් තොර සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමටත් ඉන්දියාව යෝජනා කළ ද  ඕනෑම අවස්ථාවක ඒවා පහසුවෙන්ම බිඳ වැටෙන බව පසුගියදා වූ සිද්ධියෙන් තහවුරු වේ. ඒ එහි වඩාත්ම භයානක තත්ත්වය වන්නේ සාමාන්‍ය අවි ගැටුමක් න්‍යෂ්ඨික ප‍්‍රහාරයක් දක්වා ව්‍යාප්ත වීමේ සැබෑ අනතුරක් පැවතීමය. අඩුම වශයෙන් දෙරට අතර ඇති වන ගැටුවකදී න්‍යෂ්ඨික අවි යොදා නොගන්නා බවට සහතිකයක් ද නැත.


ජනවාරි මාසයේ මුල දෙසතිය තුළ පාලන රේඛාව හරහා පැවති වෙඩි හුවමාරු ක‍්‍රමයෙන් නතර වීම නිසා අවි ගැටුමකට ආසන්න

ඉන්දීය හමුදා ප‍්‍රධානී ජනරාල් බික‍්‍රාමි සිංග්

අනතුර පහව ගිය නමුත් කුමන මොහොතක හෝ පාලනය කළ නොහැකි අනතුරක් හට ගැනීමේ අවදානම නොනැසී පවතී. එහි මෙවර වඩාත් කැපී පෙනෙන තත්ත්වයක් වූයේ දේශපාලන නායකත්වයට අමතරව දෙරටේ හමුදා නායකත්වය ද වාග් ප‍්‍රහාරයට එක් වීමෙනි. කාශ්මීර ප‍්‍රශ්නය දෙරටේම අභ්‍යන්තර දේශපාලනයේ ප‍්‍රබල සාධකයක් වන නිසා සම්මුතියකයට පැමිණීමට නොසැලෙන දේශපාලන දැක්මක් හා නායකත්වයක් අවශ්‍යය. 


අවාසනාවකට මෙන් එය ඉන්දියාවේ හා පාකිස්තානයේ දේශපාලනයේ දුබල ගුණාංගයකි. කෙසේ වුවත් වැරදි තීරණ හා වැරදි ක‍්‍රියාමාර්ග නිසා සිදුවිය හැකි විනාශය පෙරට වඩා බෙහෙවින් වැඩි බව පැහැදිලිය.

 

සටහන: මහින්ද හත්තක

 

 

ඉන්දීය ප‍්‍රහාරයෙන් මියගිය පුද්ලයන්ට ගෞරවාචාරය පුදකරන අවස්ථාව.

 

ඉන්දියානු දේශසීමා ආරක්ෂණ හමුදාව