පොප් සංගීතයේ රජු වූ මයිකල් ජැක්සන්ට ඉක්මන් මරණයක් ළඟා කර දුන්නේයැයි චෝදනා ලැබ වරදකරු වී සිරගත කැරුණු ඔහුගේ පවුලේ වෛද්‍යවරයා වූ වෛද්‍ය කොනාර්ඩ් මරේ තම සිව් අවුරුදු සිර දඩුවමෙන් අඩක් සම්පූර්ණ කර පසුගිය මස නිදහස ලැබීය.

නිදහස ලබා ප්‍රථම වතාවට පුවත්පත් සාකච්ඡාවකට  එක්වෙමින් ඔහු පැවසූවේ තමන් මයිකල් ජැක්සන්ගේ මරණයට කිසිලෙසකින්වත් හවුල් නොවූ බවයි. ජැක්සන්ම ජැක්සන් මරා ගත් බව ඔහු කීවේය.

මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු ද ඔහු පුවත්පත් සාකච්ඡාවේදී සදහන් කළේය.

මයිකල් ජැක්සන්ගේ අවසන් කාලයේ ඔහු සිටියේ අධික මානසික පීඩනයකින් බව ද මෙනිසා ඔහු එය අවම කර ගැනීමේ අරමුණින් විවිධාකාර ඖෂධයන්ගේ පිහිට පතමින් සිටි බව ද වෛද්‍ය කොනාර්ඩ් මරේ පැවසුවේය.

වරෙක එවන් එක් ඖෂධයක් වැඩි මාත්‍රාවකින් මයිකල් ඉල්ලා සිටි කළ තමන් එය තරයේ ප්‍රතික්ෂේප කළ බවත් එහෙත් තමන් කාමරයෙන් මදකට පිටතට ගිය අවස්ථාවේ මයිකල්ම එය වැඩි මාත්‍රාවකින් ලබාගෙන තිබෙනු තමන් දුටු බවත් ඔහු කීවේය.

මයිකල්ගේ මරණය ළගා වූ එම අවස්ථාවේ ඔහු බේරා ගැනීමට තමන් දැඩි උත්සාහයක් දැරුව ද එය සාර්ථක නොවූ බව වෛද්‍යවරයා පැවසීය.

2009 වසරේ ජූනි මස 25 වැනි දා සිදුවූ මයිකල් ජැක්සන්ගේ මරණය ලොවම කැළඹු  සිදුවීමක් විය.මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ වැඩි මාත්‍රාවකින් ගතහොත් හානිකර වන ඖෂධයක බලපෑම නිසා මයිකල් මියගොස් ඇති බවයි.

මයිකල්ට එම ඖෂධය ලබා දුන්නේයැයි ඔහුගේ පවුලේ වෛද්‍යවරයා වූ කොනාර්ඩ් මරේට චෝදනා එල්ල විය. වෛද්‍ය කොනාර්ඩ් මරේ තමන්ට එල්ල වූ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ද ඔහු අනියම්  මිනීමැරීමේ  චෝදනාවට වැරදිකරු බව තීරණය කළ අධිකරණය ඔහුව සිව් අවුරුද්දකට සිර ගෙදරට යැවීය.

නමුත් අවුරුදු 2 ක සිර දඩුවම් විදීමෙන් පසු ඔහු  නිදහස් කිරීමට බලධාරීන් තීරණය කර ඇත. දැන් වෛද්‍ය මරේ තමන්ගේ වෛද්‍ය සහතිකය යළි ලබාගෙන ජීවිතය අලූතින් පටන් ගැනීමේ වෑයමක යෙදී සිටී.