මානව හිමිකම් සුරකින්නැයි ලෝකයාට උපදෙස් දෙන ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් උල්ලංගනය කරන බවට චීන රජය චෝදනා කරයි.
චීනය එම චෝදනාව එල්ල කළේ ‘2012 වසරේ ඇමෙරිකාවේ මානව හිමිකම් කටයුතු’ යන නමින් සකස් කළ වාර්තාවක් ද එළිදක්වමිනි.
ඇමෙරිකාව ලොව පුරා සිදු කරන හමුදා සංග‍්‍රම හේතුවෙන් විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංගනය වීම් සිදුවෙන බව එම වාර්තා වේ සඳහන් වෙයි.
ඇමෙරිකාවට අයත් කියුබාවේ කෙළවරක පිහිටි ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ සිරකරුවන්ට සිදුවන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය කටයුතු කරන ආකාරය ද මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බව ද එම වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ඇමෙරිකාව තුළ ගිනි අවි නිසා සිදුවන අපරාධ ඉහළ යෑම නිසාත් ඇමෙරිකාව තුළ ගිනි අවි පාලනයක් නොවීම නිසාත් සිවිල් වැසියන්ගේ ජීවිත නිරන්තරයෙන්ම අවදානමට ලක් වන බවත් චීන රජය වැඩිදුරටත් කියා සිටී.
ඇමෙරිකාව සහ චීනය අතර පවතින්නේ සීතල යුද්ධයකි. චීනයේ ඇතැම් කි‍්‍රයාකාරකම් නිරන්තරයෙන් ඇමෙරිකාවේ විවේචනයට හේතු වන අතර චීනය මානව හිමිකම් උල්ලංගනය කරනවා යැයි චෝදනා කරයි.
ඊට අමතරව පසුගිය දිනවලදී ඉරානය, රුසියාව, වෙනිසිලාව, බංග්ලාදේශය සහ ඊජිප්තුව ද මානව හිමිකම් උල්ලංගනය කරනවා යැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
චීන රජය එම වාර්තාව නිකුත් කරද්දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ඇමෙරිකාවට ද මානව හිමිකම් කැඩුවේ යැයි චෝදනා එල්ල විය.
නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ සිටින ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප‍්‍රහාර හේතුවෙන් ද මානව හිමිකම් උල්ලංගනය සිදුවන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන චෝදනා කර ඇත.