මෙක්සිකෝවේ උතුරු දිග සැකටකාස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් රැඳවියන් 16 දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා තිබේ.

2018 වසරේදී ජනපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් බලයට පත්වීමෙන් පසු සිදුවූ දරුණුම සිද්ධිය මෙය බව බලධාරීහු කියති.

ගිනි අවියක් සහිතව සිටි රැඳවියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවක්කු තුනක් සහ පිහි ද බන්ධනාගාරයේ තිබී හමුවී තිබේ.

බන්ධනාගාරය තුළට ආයුධ ගෙනගියේ කෙසේද යන්න සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මෙක්සිකෝ රජය පවසයි.

මෙම සිදුවීමෙන් පසු බන්ධනාගාර වල ආරක්ෂාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවද ඔවුහු සඳහන් කරති.

මෙක්සිකෝවේ බන්ධනාගාර වල නිරතුරුවම මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවන අතර 2017 වසරේදී ඇකපුල්කෝ හි බන්ධනාගාරයක සිදු වූ සටනකින් රැඳවියෝ 28 දෙනකු මියගියහ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)