ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගයට ඉකුත් 15 වැනිදා බෝම්බ ප‍්‍රහාර එල්ල කළ චෙච්නියානු ජාතික සර්නේව් සොහොයුරන්ගේ මව ද 2011 වසරේ සිට, තම ත‍්‍රස්ත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටින අයකු යැයි ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
සොහොයුරන්ගේ මව, සුබෙයිදා සර්නේව් ජීවත් වන්නේ රුසියාවේ ඩජැස්තානයේය. 2011 වසරේ ටාමර්ලන් සහ සුබෙයිදා ත‍්‍රස්ත ලැයිස්තුවට එක් කිරීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ තීරණය කර ඇත්තේ ටාමර්ලන් රුසියාවේ කළ සංචාරයකින් පසුවය.
එම සංචාරයෙන් පසුව ඔහු යළි ඇමෙරිකාවට ආ අවස්ථාවේදී රුසියානු ආරක්ෂක අංශ අනතුරු අඟවා ඇත්තේ ඔහු චෙච්නියානු බෙදුම්වාදී සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පවත්වන්න ඇතැයි කියාය.
බොස්ටන් ප‍්‍රහාරයට ටාමර්ලන් සහ සොහාර් සම්බන්ධ යැයි ආරක්ෂක අංශ ප‍්‍රසිද්ධ කළ අවස්ථාවේ රුසියානු මාධ්‍ය ඔස්සේ සුබෙයිදා කියා සිටියේ තම පුතුන් දෙදෙනා ත‍්‍රස්තවාදීන් නොවන බවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවල කුමන්ත‍්‍රණයකට ඔවුන් පැටැලූ බවත්ය. 
මේ ගැන වැඩි විස්තර සෙවීමට ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පිරිසක් ඉකුත් සතියේ ඩජැස්තානයට ගොස් සුබෙයිදා සර්නේව් හමුවී සාකච්ඡුා කළහ.
බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ වූයේ ටාමර්ලන් සහ සොහාර් සර්නේව්ය. පොලිසිය ලූහුබැඳ යෑමේදී ටාමර්ලන් ජීවිතක්ෂයට පත් වූ අතර සොහාර් මාරක තුවාල ලැබුවේය. 
මේ වනවිට ඔහු රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු පාපොච්චාරණයක් කළ බව ද වාර්තා වේ. ඇමෙරිකානු ආරක්ෂක අංශ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.