බිරිදට සොරෙන් රහමෙර පානයේ යෙදී ඇයගේ උදහසින් වැළකෙන්නෙමියි සිතා කෙටි මගකින් නිවස වෙත යමින් සිටි චීන ජාතිකයෙකුගේ ගමන අවසන්වූයේ වැසිකිළි අපද්‍රව්‍ය පුරවා තිබූ ටැංකියකිනි.

උදවු ඉල්ලා ඔහු නැඟූ හඬ ඇසී වහ වහා එතැනට පැමිණියෝ සහන සේවකයන් කැඳවා ඔහු බේරාගත්හ.

අසූචි වලින් නැහැවී සියොලඟ කළු පැහැගැන්වී සිටි ඔහු දෙස බැලීමත් අපහසු විය.ගන්ධස්කාරය පළාතම වසා ගත්තේය.

සහන සේවකයින් ඔහු පිරිසිදු කිරීමට තැත් කළද එයට අකැමැතිවූ ඔහු තවත් පමා වුවහොත් බිරිදගේ උදහසට ලක්වන බව කියමින් අසූචි නාගෙනම නිවෙස බලා ගියේය.

නිවසේදී ඔහුට හොද සංග‍්‍රහයක් ලැබී තිබෙන බව සඳහන්ය.

පසු අවස්ථාවක මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ඔහු පවසා තිබෙන්නේ තමා තැබෑරුමේ සිටියදී බිරිදගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් නිසාවෙන් ඉක්මනින් නිවස වෙත යෑමට කෙටි මග තෝරාගත් බවයි.

මගදී වමනය කිරීමට අවශ්‍යතාවක් ඇතිවූ හෙයින් මාර්ගය පසෙක වූ වැටක් අල්ලාගෙන වමනය කළේයැයිද නොදැනුවත්වම වැටට උඩින් ගිය තමා පහළට ඇද වැටුණේ යැයිද ඔහු පවසා ඇත.

තමන් වැටුණේ වතුර ටැංකියකට බව මුලින් සිතා සිට ඇති ඔහු වැරැද්ද තේරුම් ගෙන ඇත්තේ ගඳ දැනෙන්නට වූ විටය. වෙරිමතද සිඳී අසූචි වල ගිලූණු ජංගම දුරකථනයද සොයාගත නුහුණු තැන ඔහු කෑ කසා උදවු ඉල්ලා ඇත.

නිවසේදී තමා දුටු බිරිද අතිශයින් කෝපයට පත්වුනු බවත් තමන් අසූචි වලින් නැහැවී සිටින්නේ ඇයිදැයි ඇය වහාම තේරුම්ගත් බවත් ඔහු කියා ඇත.

‘‘නිවස ඇතුලේ නිදා ගන්න මට තහනම් කරපු ඇය මට පෙන්නුවේ බලූ කූඩුව.ඒත් ඒකෙවත් නිදාගන්න බැරිවුනා මොකද මගේ ගඳට නහය හකුලගත්ත අපේ බල්ලා ඉක්මනටම කූඩුවට පැන ගත්තා.මට ඉන්න වුනේ එළියේ.‘‘ ඔහු පවසා තිබේ.

මේ සිදුවීමෙන් තමන් හොඳ පාඩමක් ඉගෙන ගත් බව ඔහු අවසානයේ සඳහන් කර ඇත.

1414073491117_wps_28_Pic_shows_Chi_Fang_was_re