උපාධියක් තිබීම හොද රැකියාවකට මගපාදන්නක් වුවත් දැන් ලබාගන්නා උපාධියට ගැලපෙන රැකියාවක් සොයාගත නොහැකි වාතාවරණයක් බි‍්‍රතාන්‍යයේ උද්ගතවී ඇතැයි නවතම සමික්ෂණ වාර්තාවකින් හෙළිව තිබේ.

මෙවන් තත්ත්වයක් ඇතිවීම සදහා හේතු ලෙස සමික්ෂණ වාර්තාවේ දක්වා තිබෙන්නේ බි‍්‍රතාන්‍යයේ ආර්ථික අවපාතය හා එය මැඞීම සදහා හදුන්වාදී ඇති නව ආර්ථික ප‍්‍රතිපත්තීන්ය.

බි‍්‍රතාන්‍යයේ උපාධි අපෙක්ෂක තරුණ තරුණියන් බොහෝ දෙනෙකු අධ්‍යාපනය ලබන්නේ විවිධාකාරයේ ණය පහසුකම් ලබාගෙන වන අතර උපාධිය ලබාගත් පසු මෙම ණය ආපසු ගෙවීමට ඔවුනට සිදුවේ.නමුත් උපාධියට ගැලපෙන රැකියාවක් සොයාගැනීමට නොහැකි තැන ඔවුන් කරන්නේ කිසිදු උසස් අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය නොවන රැකියාවන්ගේ යෙදීම බව සමික්ෂණ වාර්තාවේ දැක්වේ.

මෙනිසා දැන් දැන් බි‍්‍රතාන්‍යයේ දෙමව්පියන්ද අධ්‍යාපනය ගැන වැඩිදුර නොසිතා තම දරුවන්ව මුදල් ඉපැයීම කරාම යොමුකරන ප‍්‍රවණතාවක් දක්නට ඇතැයි එහි සදහන්ය.

උසස් අධ්‍යාපනය නොලැබූවන් හා උසස් අධ්‍යාපනය ලැබූවන් අතර ආදායම් පරතරයේ පෙර මෙන් වැඩි වෙනසක් දක්නට නැතැයිද සමික්ෂණ වාර්තාවෙන් අනාවරණය කර ඇත.

කෙසේ නමුත් වෛද්‍ය හා ඉංජිනේරු යන ක්ෂේත‍්‍රයන්ගේ රැකියා තවදුරටත් ඒවායේ සාධන මට්ටම පවත්වා ගනිමින් ඉහළම මුදලක් උපයා දෙන රැකියාවන් ලෙස තවදුරටත් පවතින්නේයැයි වාර්තාවේ දැක්වේ.ගැටලූ ඇත්තේ සෞන්දර්යය,කලා,ජනමාධ්‍ය ආදී ක්ෂේත‍්‍ර වල බවත් ඒවායේ ගුණාත්මක භාවය වැඩිදියුණු කරන්නේ නම් ඉහළ ඉපැයීමක් ඇති රැකියා කරා උපාධිධාරීන් යොමුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් වාර්තාවේ දක්වා ඇත.