පිහියක් ගෙන නෝර්වේ රටේ බස් රියකට ගොඩවුණු තරුණයකු රියැදුරුට සහ තවත් මගීන් දෙදෙනකුට පිහියෙන් ඇණ බසයේ සිටි සෙසු මගීන් පැය කිහිපයක් ප‍්‍රාණ ඇපයේ රඳවා ගත්තේය.

එම තරුණයා ප‍්‍රාණ ඇපයට ගත්තේ, නොර්වේහි පිටිසරබද නගරයක් වන ස්ටැවැනගර් බලා ධාවනය වෙමින් තිබුණු බස් රථයකි.

පිහිය රැුගෙන බසයට ගොඩ වූ ඔහු, කෑ මොර දෙමින්, බසය පාර මැද නවතා මාර්ගය අවහිර කළ බව ද වාර්තාවේ.

බහින් බස්වීමකින් පසු ඔහු රියැදුරුට සහ තවත් දෙදෙනකුට පිහියෙන් ඇන්න බව මගීහු පසුව පැවැසූහ. බරපතල තුවාල ලබා මරණයට පත් වූ එම තිදෙනොගෙන් එක් අයකු 19 හැවිරිදි තරුණියකි.

රියැදුරු සහ අනෙක් මගියා 50 හැවිරිදි වියෙහි පසුවූහ. තරුණියත් රියැදුරුත් නොර්වේ ජාතිකයෝය. ඉතිරි තැනැත්තා ස්වීඩන ජාතික මගියෙකි.
සිද්ධිය සැලැවීමත් සමඟ, සෝගන් සහ ෆොඬේන් පොලිස් නිලධාරීහු බස් රිය නවතා තිබූ ස්ථානයට පැමිණ එය වට කළහ.

පැය කිහිපයක් තිස්සේ තරුණයා සමඟ කතාබහ කිරීමෙන් පසු ඔහු පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. තුවාල ලබා බසය තුළ සිටි තිදෙනා හෙලිකොප්ටරයේ ආධාරයෙන් රෝහල් කරා ගෙන ගිය බවත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බවත් පොලිසිය පවසා ඇත.

පිහිය අතැති තරුණයා වයස අවුරුදු 30 ක අයකු බව ද පොලිසිය කියා සිටී. ඔහු කවුරුදැයි හඳුනාගෙන ඇති නමුත් ඔහුගේ විස්තර මේ වනවිට මාධ්‍යවලට හෙළි කර නැත. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙයි.