මහ වැසි හේතුවෙන්  පාකිස්තානයේ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවූ අතර හදිසියේ හටගත් එම ජල ගැලීම්වලට 98 දෙනෙක් බිලිවූහ.
ජල ගැලීම්වලට හසුවීමෙන් අතුරුදන් වූ ගණන 54 ක් බව ද පැවැසෙයි. අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවලට අධික වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත. නායයෑම් සිදුවී මාර්ග රැසක් අවහිර වී ඇති බව ද වාර්තා වෙයි.
ජල ගැලීම් නිසා ලක්ෂයකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත. ජල ගැලීම් වාර්තා වී ඇත්තේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ, පන්ජාබයේ, බලූකිස්තානයේ සහ දකුණු සින්ද් ප‍්‍රාන්තයෙනි. කඳුකර පළාත්වල පිහිටි ගම්මාන රැුසක් මුළුමනින්ම ජලයෙන් ගසා ගෙන ගොස් ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.
මේ වනවිට රාවල්පිණ්ඩි සහ ලාහෝර් යන නගරවලට ද මහ වැසි ඇදහැළීම් ආරම්භ වී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ. එම හේතුව නිසා ප‍්‍රධාන මාර්ග රැුසක් අවහිර වී ගමනා ගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.
විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති අතර දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩා විඳින බව ද වාර්තා වේ. සහන සේවා කටයුතු සඳහා හමුදාව යොදවා ඇති බව පාකිස්තා රජය පවසා ඇත.
පාකිස්තානය දරුණු ලෙස ගංවතුරින් බැටකෑවේ 2010 වසරේදීය. වසර 66 කට පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වය වූයේ එයයි. එයින් 1,700 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උන්හිටිතැන් අහිමි වූ ගණන ලක්ෂ පහකට වැඩිය.