නවසීලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මාටින් ක්‍රෝ පිළිකා රෝගයෙන් මියගිය බව නවසීලන්තයේ හැරල්ඩ් පුවත්පත වාර්තා කරයි. ඕක්ලන්ඩ් හි පිහිටි සිය නිවසේ දී මියයන විට ඔහු 53 වැනි වියේ පසුවූයේය.

ප්‍රතිශක්තීකරණ පද්ධතියේ හටගත් පිළිකාවකින් ඔහු කළක සිට පීඩා විදිමින් සිටියේය. 2012 දී මුල් වතාවට මේ රෝගී තත්ත්වය සොයා ගැනීමෙන් පසු ප්‍රතිකාර කර පිළිකා සෛල සියල්ල ඉවත්ව ඇතැයි වෛද්‍යවරු කීව ද 2014 වර්ෂයේ දි යළි රෝගය මතුව ඇත.

ටෙස්ට් තරඟ 77 දී ලකුණු 5444 ක් ලබා ගත් ඔහු ශතක 17ක් වාර්තා කළ අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය 45.36කි. වෙලින්ටන් හි දී 1991 දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 299 ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසු රූපවාහිනී විස්තර විචාරකයකු හා ලේඛකයකු ලෙස කටයුතු කළ මාටින් ක්‍රෝ තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමෙන් පසු ආරම්භ වූ 20-20 තරඟ දියුණු කිරීමට ද බෙහෙවින් දායක වූයේය.