තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලබා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බි‍්‍රතාන්‍ය රැගෙන ආ මලාලා සුසෙෆ්සායි නමැති 14 හැවිරිදි පාකිස්තාන දැරිය පළමු වරට ආධාර සහිතව සිට ගැනීමට සමත්ව සිටින බව බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු පවසති. වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බි‍්‍රතාන්‍යයට රැගෙන ආ මලාලා දැරිය මේ වන විට බර්මිංහැම්හි පිහිටි ක්වීන්එළිසබෙත් රෝහලේදී ප‍්‍රතිකාර ලබයි. මලාලාගේ රෝගී තත්ත්වය දිනෙන්දින යහපත් අතට හැරෙමින් තිබෙන බවත් ශ්වසන ආධාරක නළ හේතුවෙන් ඇයට කතා කිරීමට නොහැකි වූවද ඇය සිය අදහස් ලියා දක්වා ප‍්‍රකාශ කරන බවත් එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ඬේව් රොසර් සඳහන් කළේය. දැරියගේ හිසට එල්ල වූ වෙඩි පහරින් ඇයගේ ජීවිතය බේරී ඇත්තේ සෙන්ටිමීටරයක පමණ පරතරයකින් බව ද වෛද්‍ය ඬේව් පැවැසීය. තලේබාන් සටන්කාමීන්ගේ අන්තවාදී ෂාරියා නීතිය හෙළා දකිමින් බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැඟීමේ වරදට මලාලා වෙඩි ප‍්‍රහාරයට ලක් විය. ඒ, පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ පදිංචි ඇය අමතර පංතියකට සහභාගී වී පාසල් බස් රියෙන් සිය නිවෙස බලා යෑමට සැරසෙද්දීය. එහිදී බරපතළ තුවාල ලැබූ මලාලා පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර හමුදා රෝහලකට ඇතුළු කළ අතර අනතුරුව වැඩිදුරට ප‍්‍රතිකාර සඳහා විශේෂ ගුවන්යානයකින් බි‍්‍රතාන්‍යයට රැගෙන එනු ලැබිණි. ක්වීන්එළිසබෙත් රෝහලේ සුවය ලබමින් සිටින මලාලා දැරිය...