තායිවානයේ රෝහලක ඊයේ (23) අලූයම හටගත් ගින්නකට  දොළොස් දෙනෙක් බිලිවූහ. හැත්තෑ දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූන් අතර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ද සිටිති. මිය ගොස් ඇත්තේ රෝගීන් දොළොස් දෙනෙකි. ගින්න හටගත්තේ තායිවානයේ තායිනාන් නගරයේ මහල් පහකින් සමන්විත රෝහලකය. රෝහලේ දෙවැනි මහලේ ගබඩා කාමරයක ගින්න හටගෙන පසුව එය සීඝ‍්‍රයෙන් ඉහළ මහල්වලට පැතිර ගොස් ඇති බව ගිනි නිවන භටයෝ පවසති. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය පහකට වැඩි කාලයක් ගත විය. ගිනි නිවන භටයන් 200 දෙනකු ගින්න නිවා දැමීමට පැමිණ සිටි බව වාර්තා විය. ගින්න හට ගත්තේ කෙසේ ද යන්න තවමත් වාර්තා වී නැති අතර ඒ ගැන පරීක්ෂණ කටයුතු දිගටම සිදු වෙමින් පවතී. ගින්න හටගත් සැණින් සේවයේ සිටි වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීහු යුහුසුළුව රෝගීන් පිටතට ගෙන යෑමට කටයුතු කළහ. ගින්නට හසුවී මියගිය සහ පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් බොහෝ දෙනා ඇඳට සීමා වී ප‍්‍රතිකාර ලබමින් සිටි වයස්ගත රෝගීන්ය. ගින්නේන බරපතළ ලෙස හානි සිදුවී ඇත්තේ ද එම රෝගීන් ප‍්‍රතිකාර ගනිමින් සිටි වාට්ටුවටය. ගින්න හට ගන්නා අවස්ථාවේ එහි රෝගීන් 100 දෙනකුට වැඩි පිරිසක් සිටි බව වාර්තා වේ. රෝහලේ ගින්න වාර්තා වූ සැණින් ගිනි නිවන භටයන්ට අමතරව මාධ්‍යවේදීන් සහ රෝගීන්ගේ ඥාතීන් ද රෝහල වෙත පැමිණ තිබේ. ගිලන් ඇඳ පිටින්, රෝද පුටුවල ආධාරයෙන් රෝගීන් රෝහලෙන් පිටතට ගෙනි යන අයුරු සජීවීව පුවත් නාලිකා ඔස්සේ විකාශය කෙරුණි. පිළිස්සුම් තුවාල ලැබූවන් සහ දුම් ආඝ‍්‍රාණය වූවන් අවට පිහිටි වෙනත් රෝහල් කරා යොමු කෙරුණි. සිද්ධිය වාර්තා වූ සැණින් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවත් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් දැඩි ලෙස කනගාටුව පළ කරන බවත් තායිවාන අගමැති ෂෝන් චෙන් පවසයි.