ඉරානය ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට සහ ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී මහතාට සම්බාධක පනවා ඇත.
“ඩ්‍රෝන යානයට වෙඩි තැබීමට ප්‍රතිචාර ලෙස ඉරානයට අමතර සම්බාධක පැනවූවා. ඊට අමතරව තවත් ක්‍රියාමාර්ග ගත්තා” යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීය. ඉරානයේ උත්තරීතර නායකයා වන අයතොල්ලා අලී කමේනීට ද සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
“ඉරානය රෙජීමයේ එදිරිවාදී ක්‍රියාමාර්ගවලට වගකිව යුත්තේ අයතොල්ලා අලී කමේනී” යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කළේය. “ඇමෙරිකාවේ ක්‍රියාමාර්ග අවමන් සහගත රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක්” යැයි ඉරාන විදේශ අමාත්‍ය ජවාද් සරීෆ් මහතා කීවේය.
ඉරානයට සම්බාධක පැනවීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඉරාන විදේශ අමාත්‍යවරයා ට්‍රම්ප් මහතාගේ පරිපාලනයට තවදුරටත් චෝදනා කළේය. “ට්‍රම්ප් පරිපාලනය යුද පිපාසයෙන් ඉන්නවා” යැයි ද ඔහු චෝදනා කළේය.
පසුගිය සති කිහිපයේ දී ඉරානය සහ ඇමෙරිකාව අතර නොසන්සුන්තාවය උග්‍ර අතට හැරිණි. ඉරානය ඩ්‍රෝන යානය බිම හෙළීමට පෙර ජනාධිපති ට්‍රම්ප් මහතා ඉරානයට සම්බාධක පැනවීමට තීරණය කර තිබූ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් මහතා කීය.
ඉරානයට සම්බාධක පැනවීමෙන් ඉරානයට අයත් වත්කම්වල තිබෙන ඩොලර් බිලියන ගණනක මුදල්වලින් කිසිදු ප්‍රයෝජනයක් නැතිවනු ඇත. මේ අතර දෙරට අතර තිබෙන නොසන්සුන්තාව රාජ්‍ය තාන්ත්‍රික ලෙස විසඳා ගන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇමෙරිකාවෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටියේය.
(ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරිනි)
(055)

COMMENTS
ඉල්ලාගෙන කන්න වගේ හදන්නේ.
ඇමරිකාව අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන එක නවත්තනකන් හැමදාම මේ ප්‍රශ්‍න ලෝකෙන් ඉවර වෙන්නෑ. එහෙම නැත්තම් ඇමරිකාවට හොද පාඩමක් උගන්වන්න පුළුවන් රටක් බිහිවෙන්න ඕන