ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ.එෆ්.පී පුවත් සේවය හා දුරකතනය ඔස්සේ කළ සාකච්ඡාවකදී පැවසීය.

ජනපතිවරයා සදහන් කළේ ශී‍්‍ර ලංකාවේ සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීමේ සිදුවීම් පිළිබඳ අධ්‍යනය කරන්නට අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි කවුන්සිලයේදී වැඩි ඡුන්දයෙන් සම්මත කර ගත්තද ශී‍්‍ර ලංකාව එය පිළිනොගන්නා බවයි.මෙම යෝජනාවලිය හා සිදුකිරීමට යන පරීක්ෂණය ශී‍්‍ර ලංකාවේ ආරම්භ කර ඇති සංහිදියා හා ප‍්‍රතිසංස්කරණ වැඩකටයුතු වලට උදව්වක් නොව මහත් බාධකයක් බව හෙතෙම කීය.

කෙසේ නමුත් තමන් අධෛර්යමත් වී නොමැති බවත් ආරම්භ කර ඇති සංහිදියා හා ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් දිගටම කරගෙන යන බවත් ජනපතිවරයා පැවසීය.

ඉන්දියාවේ අනපේක්ෂිත හැසිරීම සම්බන්ධයෙන්ද ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කළේය.එය ශී‍්‍රලංකාව ඉන්දියාව හා අනාගතයේ සිදුකෙරෙන ගනුදෙනු දිරිගන්වන්නක් බව ඔහු කීය.

රටේ ජාතීන් අතර සමගිය ඇති කිරීමට උගත් පාඩම් හා සංහිදියා වාර්තාවෙන් රජය ලබාගත් දැනුම යොදාගනිමින් තිබෙන බවත් වාර්තාවේ ඇති සියලූ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට නම් ශී‍්‍ර ලංකාවට තවත් කාලය අවශ්‍ය බවත් ජනපතිවරයා පැවසීය.

කවුන්සිලයේදී ආරම්භයේ සිටම තිබුණේ ශී‍්‍ර ලංකාවට අවාසිසහගත වාතාවරණයක් යැයි ජනපතිවරයා පෙන්වා දුන්නේය.ශී‍්‍ර ලංකාවට එරෙහිව ව්‍යාපාරයක් ගෙන ගිය ඇමරිකාව සියල්ල ආරම්භ වීමටත් ප‍්‍රථමයේ සිටම ඡන්ද දුසිමක් පමණ ඔවුන්ගේ පැත්තට දිනාගෙන සිටි බව ජනපතිවරයා කීය.

ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡුන්ද 23 කින් සම්මත වුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 12 කි.රටවල් 12 ක් ඡන්දය පළ කිරීමෙන් වැළකී සිටියේය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් පවසන්නේ රටවල් බහුතරයක් ඇමරිකාවේ මෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ වැඩකටයුතු කෙරෙහි පැහැදීමක් නොමැති බව ඡන්ද ප‍්‍රකාශයේදී පෙනී ගිය බවයි.ගියවර පැවති මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියක් ඡන්ද 25 ක් ලබාගෙන එනම් කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනා සැළකීමේදී අති බහුතරයකින් සම්මත කර ගැනීමට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සමත්වුවත් මෙවර ඡන්ද 23 ක් පමණක් ලබාගනිමින් සියයට 50 කගේවත් සහය නොමැතිව යෝජනාව සම්මත කර ගැනීමට ඔවුනට සිදුවී ඇතැයි අමාත්‍යවරයා කියයි.