2001 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ ලෝක් සභා ගොඩනැගිල්ලට ප‍්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව මරණ දඬුවම නියම වී සිටි කාශ්මීර් වැසියෙකු වන අෆ්සල් ගුරු පසුගිය සෙනසුරාදා එල්ලා මැරීම ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන ධරාවන් වන කොංග‍්‍රස් පක්ෂය, භාරතීය ජනතා පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂයේ සතුටට කාරණයක් වුවද යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කරන ඉන්දියාව තුළම සිටින විවිධ සමාජ ස්ථරවල මහත් ආන්දෝලනයට ලක්විය. මෙම එල්ලා මැරීම යුක්තිය හෝ නීතිය ඉටුවීමට වඩා දේශපාලන අවශ්‍යතාව මත සිදු වූවක් බවට චෝදනා කරන සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් පෙන්නා දෙන ආකාරයට මෙම පුද්ගලයා එල්ලා මරා දැමීම සිදු කර ඇත්තේ එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් අනුගමනය කරන ක‍්‍රියාපටිපාටිය ද නොසලකා පුදුම හදිසියකිනි. ඉන්දියාවේ පවතින සාමාන්‍ය ක‍්‍රියාපටිපාටිය අනුව මෙම මරණ දඬුවමකට නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දෙන ලෙස එරට ජනාධිපතිවරයාට අභියාචනයක් කළ හැකිය. අෆ්සාල් ගුරු කරන ලද අභියාචනය වසර නමයකට ආසන්න කාලයක් කිසිදු පියවරක් නොගෙන පසුගිය පෙබරවාරි 3 වැනිදා එම අභියාචනය ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලයෙන් නිවේදනය කෙරිණි. මෙවැනි අවස්ථාවක නැවතත් එම පුද්ගලයාට ශ්‍රේෂ්ඨාධිකරණයට අයැදුම්පතක් ඉදිරිපත් කළ හැකි නමුත් ඊට අවස්ථාවක් නොතබාම පෙබරවාරි 9 වැනිදා පාන්දර ඔහු එල්ලා මරා දැමිණ. එල්ලා මරණ බව එම පුද්ගලයාට පවා දැනුම් දී ඇත්තේ ඊට පැය කීපයකට පෙරාතුවය. ඔහුගේ පවුලේ අයට එම දැනුම් දීම ලැබී ඇත්තේ මරා දැමීමෙන් දින දෙකකට පසුවය.
 

අෆ්සල් ගුරු

ඉන්දියාව කලක සිටම මරණ දඬුවම ක‍්‍රියාත්මක කළේ නැත. මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිපත්තියක් වශයෙන් ඉන්දියාව විරුද්ධ බව තහවුරු කරමින් පසුගිය නොවැම්බර් මාසයේදී මරණ දඬුවම ඉවත් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවකට පක්ෂව ඡුන්දය දුන්නාය. මරණ දඬුවම ඉවත් කිරීම සඳහා පක්ෂ වූයේ තවත් රටවල් 39 ක් පමණි. එසේ වුවත් ඉන් පසුව ඉන්දියාවේ මරණ දඬුවම නියම වූ පුද්ගලයන් දෙදෙනකු එල්ලා මරා දමා ඇත. ඒ පසුගිය සෙනසුරාදා එල්ලා මරා දැමූ අෆ්සාල් ගුරුට අමතරව මුම්බායි ප‍්‍රහාරය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියම වූ අජ්මාල් කේසාබ්ය. එහෙත් එවකට කොංග‍්‍රස් පක්ෂයේ නායකයා වූද හිටපු අගමැතිවරයෙකු වූද රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින මුරුගේසු සාන්තන් හා පෙරවිලන් යන පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වී ඇත්තේ වෙනස් ආකාරයටය. මොවුන් තිදෙනා සමාව ලබා ගැනීමට ජනාධිපතිවරයාට කරන ලද ඉල්ලීම් 2011 අගෝස්තු මාසයේදී ප‍්‍රතික්ෂේප වුවද තවමත් මරණ දඬුවම ක‍්‍රියාත්මක වී නැත. ඔවුන්ට ජීවිත දානය ලබා දෙන ලෙස තමිල්නාඩු ප‍්‍රාන්ත සභාවෙන් යෝජනාවක්ද සම්මත කෙරිණ. එමෙන්ම රජිව් ගේ බිරිඳ සෝනියා ගාන්ධි තමා හා තම දරුවන් වෙනුවෙන් ආයාචනයක් කරමින් කිසිවෙකුට මරණ දඬුවම කි‍්‍රයාත්මක නොකරන ලෙස ඉල්ලා සිටියාය. කුමන හේතුවක් නිසා හෝ මෙම අවස්ථා දෙකේදී හැර මෑතකදී ඉන්දියාවේ මරණ දඬුවම ක‍්‍රියාත්මක වී නැත.

සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් අෆ්සාල් ගුරු කඩිමුඩියේ එල්ලා මරා දැමීමට විරුද්ධ වන වැදගත් හේතුවක් වන්නේ ඔහු හා තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පැවැති නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු වූ බවක් නොපෙනෙන නිසාය. ඔහු වෙනුවෙන් පෙනී සිටීමට අධිකරණයෙන් පත් කළ පළපුරුද්දක් නැති නීතිඥයා නිසි ආකාරයට සාක්ෂි විමසීමක් හෝ කරුණු ඉදිරිපත් නොකළ බවට ඔවුහු චෝදනා කරති. අෆ්සාල් ගුරු සමඟ චෝදනා ලැබ සිටි දෙදෙනාගෙන් එක් අයෙකු චෝදනාවලින් නිදහස් වූ අතර අනෙකාට අභියාචනයෙන් පසුව වසර හතරක සිර දඬුවමක් නියම විය. එමෙන්ම ත‍්‍රස්තවාදී කටයුතුවල නිරතවූවන්ට ලබාදුන් පොදු සමාවක් යටතේ ඉදිරිපත් වූ අෆ්සාල් ගුරු ඉන්පසු සතිපතා හමුදා කඳවුරකට වාර්තා කළේය. එම නිසා ඔහු හදිසියේ හඳුනාගත් පුද්ගලයෙකු නොවේ. ත‍්‍රස්තවාදී කල්ලියකින් ඉවත්වූ ඔහු ලෝක් සභා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන තෙක් සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටියේය.

කෙසේ වුවත් අෆ්සාල් ගුරු එල්ලා මරාදැමීමත් සමඟ කාශ්මීර ප‍්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක් සිදු වනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු විය. එවැනි තත්ත්වයක් වැළැක්වීමට එල්ලා මැරීම සිදුවූ සෙනසුරාදා සිට දින හතරක් තිස්සේම කාශ්මීර නිම්නයේ ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබිණ. මෙහිදී ජම්බු කාශ්මීර විමුක්ති පෙරමුණේ නායකයකු වූ මක්බුල් භාට් එල්ලා මැරීම සමරනු සඳහා සෑම වසරකම පෙබරවාරි 11 වැනිදා කාශ්මීර නිම්න ප‍්‍රදේශයේ විරෝධතා ව්‍යාපාර පවත්වන බවද සැලකිල්ලට ගත යුතුය. පෙබරවාරි 11 වැනිදා ක‍්‍රියාත්මක වූ ඇඳිරි නීතිය නිසා මෙවර විරෝධතා දැක්වීමට අවස්ථාවක් නොතිබිණ. ස්ථාන කීපයක විරෝධතා පැවැත්වීමට ගත් උත්සාහය වැළැක්වීමට පියවර ගැනීමේදී පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවුවද බරපතළ තත්ත්වයක් වාර්තාවී නැත.

මන් මෝහන් සිං


වැදගත්ම කාරණය වන්නේ මරණ දඬුවම ලබා දීම ප‍්‍රතිපත්තියක් වශයෙන් නොපිළිගන්නා ඉන්දියාව මෙම අවස්ථා දෙකේදී එය නොසලකා ක‍්‍රියා කළේ ඇයිද යන්නයි. සමහර නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකරයට ඊට මූලික හේතු දෙකක් ඇත. වැදගත්ම වන්නේ අභ්‍යන්තර දේශපාලනයයි. 2014 වසරේදී ඊට පෙර පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය දැඩි ජාතිවාදී ස්ථාවරයකට තල්ලූ වීමට ඉඩක් පවතින නිසා ජනප‍්‍රියතාවයෙන් පහත වැටෙමින් සිටින කොංග‍්‍රස් පක්ෂයට ඊට අභියෝග කළ හැකිවන්නේ වඩාත් අන්තවාදී ප‍්‍රතිපත්ති ස්ථාවරයකිනි. සුළු ජන කොටස්වල සහයෝගය දිනා ගැනීමට කොංග‍්‍රසයට හැම විටම ත‍්‍රස්තවාදය ඉවසන බවක් දක්වන්නේ යැයි භාරතීය ජනතා පක්ෂය නිතර චෝදනා කරයි. භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා වීමේ සුදුසුකම් ලබා ඇති ගුජරාට මහා ඇමැති නරේන්ද්‍ර මෝඩි මීට හාත්පසින්ම වෙනස් ප‍්‍රතිරූපයකි. එම නිසා ත‍්‍රස්තවාදීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව පෙන්වීමට කොංග‍්‍රස් පක්ෂයට මෙවැනි සිද්ධීන් වැදගත්ය.
දෙවැනිව කාශ්මීරය සම්බන්ධයෙන් පාකිස්තානය සමඟ උණුසුම් වාග් ප‍්‍රහාරයක යෙදෙන කොංග‍්‍රස් රජයට තමන් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව ප‍්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයක්ද පවතී. මෙම එල්ලා මැරීම සමඟම කාශ්මීරය දැඩි ඇඳිරි නීතියකට යටත් කිරීමත් න්‍යෂ්ටික ප‍්‍රහාරයකට මුහුණ දීමට වුවද සූදානම් බව ඉඟි කිරීමත් පාකිස්තානයට කෙරෙන අනතුරු ඇඟවීම් විය හැකිය. ඒ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ දේශපාලන අවශ්‍යතාවය මත ප‍්‍රතිපත්ති අතහැර දැමීමට තමන් සූදානම් බව ප‍්‍රකාශ වීමය. එය ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන පැවැත්මට මෙන්ම ජාත්‍යන්තර සබඳතාවලට ද එල්ල වන අභියෝගයක් බව පැහැදිලිය.

 

සටහන: මහින්ද හත්තක

 

ඉන්දීය ජාතික ධජය විරෝධතා කරුවන් විසින් පුළුස්සමින්

 

කාශ්මීරයේ විරෝධතා