හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් යළිත් වරක් ඊයේ (23) ඊජිප්තුවේ කයිරෝ අගනුවර විරෝධතා රැලියක් පැවැත් වූ අතර, ඔවුන් විසුරුවා හැරීමට පැමිණි හමුදා සෙබළුන් කළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එම විරෝධතාවට මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ආධාරකරුවන්ට අමතරව, ඊජිප්තුවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන ‘ටැමරොඞ්’ පක්ෂය, සහ ප‍්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණේ දේශපාලන කි‍්‍රයාකාරීහු ද එක් වී සිටියහ.

මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය එම විරෝධතාව පැවැත් වූයේ හමුදා පාලනයටත්, හමුදා පාලකයන් පිහිටුවූ ඊජිප්තු අන්තර්වාර රජයටත්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් හඬ නගන දේශපාලන කණ්ඩායම්වලටත් එරෙහිවය.

ජනපති මොර්සි හමුදා කුමන්ත‍්‍රණයෙන් බලයෙන් නෙරපා දැමුණේ ඉකුත් 3 වැනිදාය. කුමන්ත‍්‍රණයෙන් පසු නව අන්තර්වාර ජනපති ලෙස පත් වූ අඞ්ලි මන්සූර් ඉකුත් 10 වැනිදා නව ව්‍යවස්ථා ආඥාවක් ඉදිරිපත් කළ අතර, එය ප‍්‍රතික්ෂේප කරන බව ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ සහ ‘ටැමරොඞ්’ පක්ෂය කියා සිටී.

මේ වන විට මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර ද විටින් විට දරුණු ගැටුම් හට ගනිමින් තිබේ. එම ගැටුම්වලින් 70 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 1000 කට ආසන්න පිරිසක් හමුදා අත්අඩංගුවේ පසුවෙති. එම පිරිස අතර, ජනාධිපති මොර්සි ඇතුළු ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයෝ ද වෙති.
 

හමුදා ප‍්‍රහාර හමුවේ පලායන විරෝධතාකරුවෝ