ඇමරිකා ජනපති බැරක් ඔබාමා ලබන මාසයේ කියුබාවේ සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් පුවත් සේවා කියයි.

ඒ අනුව වසර 88කට පසු එරට සංචාරයක නිරතවන පළමු ඇමරිකා ජනපතිවරයා ලෙස ඔබාමා ඉතිහාසගත වනු ඇති බව ඔවුහු කියති.

මෙම සංචාරය සැලසුම් කර ඇති බව ධවල මන්දිරය අද (18) පළමුවරට මාධ්‍යයට පවසා ඇතැයි ඒබීසී පුවත් සේවය පවසයි. ලතින් ඇමරිකාවේ දීර්ඝ සංචාරයේ එක් කොටසක් ලෙස කියුබා සංචාරය යොදාගෙන ඇතැයි ජනපති ඔබාමාගේ රජයේ ප්‍රධානියෙක් ප්‍රකාශ කළේය.

ඔබාමා සහ කියුබා ජනපති රාවුල් කැස්ත්‍රෝ 2014 වසරේ අවසන් භාගයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  අඩ සියවසකට ආසන්න කාලයක් පැවැති සීතල යුද්ධයේ ප්‍රතිවාදීන් අතර සම්බන්ධය සාමාන්‍යකරණය විය යුතු බවයි.