කොරියා අර්ධද්වීපයට අනවශ්‍ය පරිදි සිදුකරන ඇඟිලි ගැසීම් නොනවත්වන්නේ නම් ධවල මන්දිරයට න්‍යෂ්ඨික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බව උතුරු කොරියාවේ මුල් පෙළ ආරක්ෂක අංශ බළධාරියෙක් අනතුරු ඇඟවීය.

1950 - 1953 කොරියා යුද්ධය අනුස්මරණය කිරීමට සංවිධානය කර තිබූ උත්සවයකදී ඔහු මේ බව කීය.

දකුණු කොරියාව හා ඇමරිකාව එක්ව දියත් කරමින් සිටින යුධ අභ්‍යාස ගැන උතුරු කොරියාව නිරතුරුව අවධානයෙන් සිටින බව ඔහු පැවසීය.

ඔවුන්ගේ ක්‍රියාකාරකම් උතුරු කොරියාවේ පැවැත්මට හා ස්වෛයිරීභාවයට තර්ජනයක් වේ යැයි පෙනී ගියහොත් ඇමරිකාවේ ධවල මන්දිරයට න්‍යෂ්ඨික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට ඔහු තර්ජනය කළේය.

උතුරු කොරියාව ඇමරිකාවට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කළ පළමු අවස්ථාව මෙය නොවේ.මින් පෙර අවස්ථා කිහිපයකදීම ඇමරිකා හිතවත් රටවලට හා අත්ලන්තික සාගරයේ පිහිටි ඇමරිකා කදවුරු වලට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කරන බවට ඔවුහු තර්ජනය කළෝය.

විමර්ෂකයින් පවසන්නේ දිගුදුර න්‍යෂ්ඨික මිසයිල තැනීමට තරම් තාක්ෂණයක් තවමත් උතුරු කොරියාව සතුව නොමැති බවයි.

එසේවුවත් කෙටි දුර මිසයිල නිපදවීමේ තාක්ෂණය නම් ඔවුන් සතුය.

උතුරු කොරියාවේ හැසිරීම නිසා එරටට සම්බාධක පිට සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇතත් තමන්ගේ හමුදා ශක්තිය පෙන්වීමේ ක්‍රියාකාරකම්වල උතුරු කොරියාව දිගින් දිගටම නිරතවේ.

පසුගිය සති කිහිපයේද ඔවුහු ජපාන මුහුදේ මිසයිල අත්හදා බැලීම් සිදුකළහ.