හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, බටහිර රටවල උදහසට ලක් වී, සම්බාධකවලින් මිරිකී ලොවෙන් හුදෙකලා වී සිටින උතුරු කොරියාව පසුගිය 7වැනිදා එහි වේලාව වෙනස් කිරීමට තීරණය කළේය.

ඒ අනුව, වේලාව මිනිත්තු 30 කින් ආපසු හැරවීමට ක්‍රියා කරනු ඇත. මෙය කි‍්‍රයාත්මක වන්නේ ලබන 15 වැනිදා සිටය.

දෙවැනි ලෝක යුද සමයේ දී ජපානයට යටත්ව සිට නිදහස ලැබීමේ 70 වැනි සැමරුමට සමගාමීව මෙම වේලාව වෙනස් වීම සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

මේ වනවිට උතුරු කොරියාවේත්, දකුණු කොරියාවේත්, ජපානයේත් කි‍්‍රයාත්මක වන වේලාව සමානය. කොරියානු අර්ධ ද්වීපය ජපානයට යටත් ව පැවැතියේ 1910 සිට 1945 තෙක් කාලයේය. ජපාන වේලාවට අනුව කොරියානු අර්ධද්වීපයේ වේලාව වෙනස් කිරීමට කටයුතු සිදුවූයේ 1912 වසරේදීය.

එසේ වූයේ දකුණු කොරියානු අර්ධද්වීපය ජපානයට යටත් ව සිටිද්දීය.