හමුදා පාලනයටත්, හමුදා පාලකයන් පිහිටුවූ අන්තර්වාර රජයටත්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් හඬ නගන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටත් එරෙහිව ඇරැඹූ සටන අත් නොහරින් බව බලයෙන් නෙරපා දැමුණු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය කියා සටී.

ජනපති මොර්සි හමුදා කුමන්ත‍්‍රණයක් මගින් ඉකුත් 3 වැනිදා නෙරපා දැමුණේ, විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ‘ටැමරොඞ්’ පක්ෂය සහ එරට ප‍්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ මැදිහත් වී පැවැති විරෝධතා හේතුවෙනි.

හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු නව අන්තර්වාර ජනපති ලෙස පත් වූ අඞ්ලි මන්සූර් ඉකුත් 10 වැනිදා නව ව්‍යවස්ථා ආඥාවක් ඉදිරිපත් කළ අතර, එය ප‍්‍රතික්ෂේප කරන බව ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ සහ ‘ටැමරොඞ්’ පක්ෂය එකහෙළා කියා සිටී.

මේ  වන විට   මොර්සි ගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර දරුණු ගැටුම් හට ගනිමින් පවතී. එම ගැටුම්වලින් 70 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 1000 කට ආසන්න පිරිසක් හමුදා අත්අඩංගුවේ පසුවෙති. ඒ අතර, ජනාධිපති මොහොමඞ් මොර්සි ඇතුළු ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයෝ ද වෙති.