IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ඊජිප්තුවට යළි ‘මුබාරක් සමය’

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී දශක ගණනාවක් බලයේ සිටි හොස්නි මුබාරක් පාලන බලතලවලින් ඉවත් කිරීමෙන් පසු පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය අනපේක්‍ෂිත නොවූ නමුත් ඊජිප්තු ජනතාවගේ අපේක්‍ෂාව නොවන බව පැහැදිලිය. පළමු වටයේ ඡුන්ද විමසීමෙන් මුල් තැනට පත් අපේක්‍ෂකයන් දෙදෙනාම මුබාරක්ගේ ඒකාධිපති පාලනය පෙරළා දැමීමට කයිරෝ නගරයේ තහීර් චතුරශ‍්‍රයේ උද්ඝෝෂණය කළ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්‍ෂාව නියෝජනය කරන්නේ නැත. ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 24.3ක් ලබා ගත් මොහොමඞ් මූර්සි මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන අතර එම සංවිධානය පසුගිය වසරේ පෙබරවාරි ජනතා උද්ඝෝෂණවලට සහභාගි වූයේ මුබාරක්ගේ පාලනය බිඳ වැටීමට ආසන්න අවස්ථාවේදීය. එතෙක් මුබාරක්ගේ හමුදා මර්දනයට මුහුණ දෙමින් හා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ තරුණයන්ට ඔවුන්ගේ සහය ලබා දුන්නේ නැත. මුස්ලිම් සහෝදරත්වය මුබාරක්ගේ පාලනය යටතේ තහනම් කරන ලද සංවිධානයක් වුව ද වෙනත් මුහුණුවරකින් ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා ජාලය පවත්වා ගෙන යෑමට අවස්ථාවක් තිබිණ. එම සංවිධානයේ සමහර නායකයන්ට විවිධ ව්‍යාපාර කටයුතු තුළින් ඉමහත් ධනයක් උපයා ගැනීමට බාධාවක් තිබුණේ ද නැත. මුස්ලිම් සහෝදරත්වයේ ක‍්‍රියාකාරීන්ට මුබාරක්ගේ පාලනය යටතේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණවල දී ස්වාධීන අපේක්‍ෂකයන් ලෙස තරග කොට තේරී පත් වීමට ද ඉඩ තිබිණ. ජනාධිපතිවරණයේ මුල් වටයේ ඡන්ද විමසීමෙන් සියයට 23.3ක ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගනිමින් දෙවන තැනට පත් අහ්මඞ් ෂෆික් සැබැවින්ම මුබාරක්ගේ පාලනය නියෝජනය කරන අපේක්‍ෂකයෙකි. ඊජිප්තුවේ ගුවන් හමුදාවේ ඉහළ තනතුරක් දැරූ ඔහු වරක් මුබාරක්ගේ ආරක්‍ෂක ඇමතිවරයා ද වූයේය. පසුව 2011 පෙබරවාරි මාසයේ දී ජනතා උද්ඝෝෂණ ප‍්‍රබල වෙත්ම මුබාරක් ඔහු අගමැති තනතුරට පත් කළේය. ඔහුට පැවරුණ කාර්ය වූයේ මර්දනකාරී මුබාරක් පාලනයට ජනතාවාදී මුහුණුවරක් ආරෝපණය කොට හේරිර් උද්ඝෝෂණය අඩපණ කිරීමය. පසුගියදා පැවති ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ ද මූලික වශයෙන් බිඳ වැටී ඇති නීතිය හා සාමය ප‍්‍රතිස්ථාපනය කිරීමේ පොරොන්දුව මත විනා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා හිතවාදී දේශපාලන ක‍්‍රමයක් සඳහා නොවේ. ඔහු මුබාරක් යටතේ ඉහළ තනතුරු දැරීම ගැන හෝ තම දේශපාලන අතීතය ගැන හෝ කිසි විටෙක පසුතැවිලි වූයේ නැත. බොහෝ නිරීක්‍ෂකයන් පෙන්වා දෙන ආකාරයට අෂික්ගේ දේශපාලන පදනම වූයේ මුබාරක් පාලනය බිඳ වැටීමෙන් පසු විසිරුවා හරින ලද ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ සංවිධාන ජාලයයි. පවතින පාලන ක‍්‍රමයේ දැඩි වෙනසක් ඇති කිරීමට යෝජනා නොකරන ඔහුට හමුදා පාලකයන්ගේ සහය ද ලැබුණ බවට සැකයක් නැත. බොහෝ නිරීක්‍ෂකයන් පෙන්වා දෙන ආකාරයට තෙවන හා සිව් වැනි ස්ථානවලට පත්ව ඇත්තේ වඩාත් ලිබරල් සමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි වාමාංශික නැඹුරුවකින් යුත් හම්ඞීන් සබාහි (සියයට 20.4) හා මුස්ලිම් සහෝදරත්වයෙන් ඉවත්ව තරග කළ අංබාල් ෂොටෝ (සියයට 17.2) ය. තෙවන ස්ථානයට පත් සබාහි හේරිර් උද්ඝෝෂකයන් සමඟ පෙනී සිටි අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක අවශ්‍යතාව අවධාරණය කළේය. මුබාරක් පාලනයෙන් ඉවත් වුව ද හමුදා පාලනය දිගටම පැවතීම ඔහු දැඩි ලෙස විවේචනය කරමින් ඔවුන් යටතේ සාධාරණ ඡන්දයක් බලාපොරොත්තු විය නොහැකි යැයි පැවසුවේය. අංබාල් ෂොටෝ මුස්ලිම් සහෝදරත්වයෙන් ඉවත්වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ මුස්ලිම් සහෝදරත්වය හමුදා පාලකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් යැයි චෝදනා කරමිනි. පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන නිදහස හා යුක්තිය පක්‍ෂය ජනාධිපතිවරයාට ඉදිරිපත් නොවීමට තීරණය කළේය. එම තීරණය ගැනීමට හේතුවක් ලෙස දැක්වූයේ වෙනත් කණ්ඩායමකට නියෝජනය ලබා දීමේ අවස්ථාවක් ලෙසිනි. එහෙත් සමහර නිරීක්‍ෂකයන් පෙන්වා දෙන ආකාරයට එහි සැබෑ අරුත වූයේ හමුදා පාලකයන්ගේ අවශ්‍යතාවට හිස නැවීමය. හමුදාව හා මුස්ලිම් සහෝදරත්වය අතර සම්බන්ධතාව බිඳ වැටුණේ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් නමුත් කැබිනට් තනතුරු කිසිවක් ඔවුන්ට ලබා නොදීම නිසාය. හමුදා පාලකයන් පත් කළ අගමැතිවරයා ඉවත් කොට වෙනත් පුද්ගලයකු එම තනතුරට පත් කරන්නැයි මුස්ලිම් සහෝදරත්වය කළ ඉල්ලීම ද ඉවත දැමිණ. මුස්ලිම් සහෝදරත්වය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේ ඉන් පසුවය. පසුගිය සතියේ පැවති ඡන්ද විමසීමේ කැපී පෙනෙන අනෙක් ලක්‍ෂණය වන්නේ මුබාරක්ගේ පාලන බලය පෙරළා දැමීමට වීදි බට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ඡන්දය ගැන උදාසීන බවක් දැක්වීමය. එරට මැතිවරණ කොමිසම මේ සතියේ නිකුත් කළ සංඛ්‍යාලේඛන අනුව දශ ලක්‍ෂ 51ක් පමණ වන මුළු ඡන්ද දායකයන්ගෙන් ඡන්දය ප‍්‍රකාශ කර ඇත්තේ සියයට 46ක් පමණි. අඩ සිය වසකටත් වැඩි කාලයක් පැවති අත්තනෝමතික පාලන බලයක් වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජ ක‍්‍රමයක් බිහි කිරීමට මුල පිරුමක් වශයෙන් පවත්වන ඡන්ද විමසීමකට ජනතා උනන්දුවක් නොමැති වීම පුදුම සහගතය. ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව ප‍්‍රකාශයක් කළ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය ඊජිප්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වෙමින් පවතින බවත් ඊට තම සම්පූර්ණ සහාය ලබා දෙන බවත් ප‍්‍රකාශ කළ ද ඊජිප්තුවේ සාමාන්‍ය ජනතාව තුළ එවැනි බලාපොරොත්තුවක් නැති බව පැහැදිලිය. සිදු වෙමින් පවතින නාමමාත‍්‍රික වෙනස් වීම් කෙරේ ඇති මේ අප‍්‍රසාදය ඔවුන් පළ කළේ සමහර ආගමික නායකයන්ගේ ඉල්ලීම ද නොතකා ඡුන්ද පොළ වර්ජනය කිරීමෙනි. සමහර ප‍්‍රදේශවල ලියාපදිංචි ඡුන්දදායකයින්ගෙන් සියයට 40ක් හෝ ඡුන්දය ප‍්‍රකාශ කර නොමැති බව ද වාර්තා විය. ඡන්දදායකයන්ගේ ඇසින් බලන විට ජන්දය ප‍්‍රකාශ නොකිරීමට සාධාරණ හේතු පවතී. ප‍්‍රථමයෙන්ම වීදි බැස උද්ඝෝෂණය කළ තරුණ ශිෂ්‍ය හා වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන්ගේ මූලික ඉල්ලීම වූයේ පවතින මර්දනකාරී පාලන තන්ත‍්‍රය වෙනස් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් පාලනයක් ස්ථාපිත කළ යුතුය යන්නයි. ඒ සඳහා හමුදා පාලකයන් ඉවත් කොට තත්කාලික මණ්ඩලයකට බලය පැවරිය යුතු අතර ඔවුන්ගේ කාර්ය වන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ඡන්ද විමසීමකින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කර ගැනීමය. ඊට හමුදා පාලකයන් එකඟ වූයේ නැත. ඔවුන්ගේ යෝජනාව වූයේ පැරණි ක‍්‍රමය යටතේම ඡන්ද විමසීම පැවැත්වීමය. හේරිර් උද්ඝෝෂකයන්ගේ විරෝධතා නොතකා මුස්ලිම් සහෝදරත්වය එම ඡන්ද විමසීමට ඉදිරිපත් වී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් විය. එහෙත් ඔවුන්ට පාලන බලතල කිසිත් හිමි වූයේ නැත. වැඩ වර්ජනය තහනම් කරමින් හමුදා පාලකයන් නිකුත් කළ නියෝග ඉවත් කිරීමට ද ඔවුන් උනන්දු වූයේ නැත. ඉන් පැහැදිලි වූයේ කම්කරුවන් බලාපොරොත්තු කිසිත් ඉටු නොවීමය. මුබාරක්ගේ පාලනය යටතේ පැනවූ මර්දනකාරී නීති රීති යටතේ තව දුරටත් වැඩ කිරීමටය. තරුණයන්ගේ විරැකියාව විසඳීමට නිසි වැඩ පිළිවෙළක් මෙතෙක් ඉදිරිපත්වී නැත. එම නිසා සාමාන්‍ය ජනතාව මෙම ඡන්ද විමසීමේ ක‍්‍රියාවලියෙන් බැහැරව සිටීම පුදුමයක් නොවේ. අනෙක් වැදගත් කරුණ වන්නේ ඡන්දයෙන් තෙරී පත්වන ජනාධිපතිවරයාට හිමි වන බලතලයි. අලූතින් තේරී පත්වන ජනාධිපතිවරයාට බලතල පැවරීමට තමන් සූදානම් යැයි හමුදා පාලකයන් පැවසුව ද ඒ බලතල මොනවා ද යන්න පැහැදිලි කර නැත. මුබාරක්ගේ පාලන සමයේ ජනාධිපතිවරයාට හිමිව තිබූ බලතල අලූතින් තේරී පත්වන ජනාධිපතිවරයාට හමුදා පාලකයන් ලබා දෙනු ඇතැයි සිතිය නොහැක. එසේ නොමැතිව ඔවුන් බලය පවරන්නේ කුමන කොන්දේසි යටතේ ද යන්නත් පැහැදිලි කරන්නේ නැත. මෙවැනි ගැටලූ විසඳාගත හැකි සුදුසුම මාර්ගය වූයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ඒ යටතේ ඡන්ද විමසීම පැවැත්වීමය. එසේ නොකිරීමෙන් මෙතෙක් සිදුව ඇත්තේ පැරණි මර්දනකාරී පාලනය නව මුහුණුවරකින් පවත්වා ගැනීමය. සිදුව ඇත්තේ පැරණි වයින් අලූත් බෝතලයකට දැමීම පමණි. අලූතින් ලැබෙන වාර්තා අනුව ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනතා උද්ඝෝෂණ රැුල්ලක් හටගෙන ඇත. ජූනි 16 හා 17 පැවැත්වීමට නියමිත දෙවන වටයේ ඡන්ද විමසීමෙන් ජය ගන්නා කුමන පාර්ශ්වයක් හෝ ජනතා අපේක්‍ෂා සපුරා ලීමට සූදානම් නැති බව පැහැදිලිය. මුස්ලිම් සහෝදරත්වයේ අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කළ හොත් ඔහුට හිමි වන බලතල ව්‍යවස්ථානුකූලව පැහැදිලි කර නොමැති නිසා හමුදා පාලකයන්ට හෙට්ටු කිරීමේ හැකියාවක් පවතී. මුබාරක්ගේ පාලනය යටතේ උසස් තනතුරු දැරූ පුද්ගලයන්ට ඡුන්දය සඳහා ඉදිරිපත් වීම වළකාලමින් සම්මත කර ගත් නීතිය ක‍්‍රියාත්මක නොවීම නිසා අහ්මඞ් ෂෆික්ට තරගයට ඉදිරිපත් විය හැකි වුව ද ඊට අභියෝග කරමින් ඉදිරිපත් කළ පෙත්සම ගැන තීන්දුව ලැබෙන්නේ ඡන්ද විමසීමට දින හතරකට පෙරය. එම නිසා තීන්දුව ඡන්ද ප‍්‍රතිඵලය කෙරේ කුමන ආකාරයකින් බලපාන්නේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් ඊජිප්තුවේ ආර්ථිකය මෙහෙයවීමේ බලයක් හිමි කරගෙන සිටින හමුදාව කොන්දේසි විරහිතව බලයෙන් ඉවත් වන්නේ යැයි කිව නොහැක. එවැනි තත්ත්වයක් යටතේ තහීර් උද්ඝෝෂකයන්ගේ අපේක්‍ෂාවන් බිඳ වැටෙන නිසා ඊජිප්තුවට නීතිය හා සාමය පවත්වා ගැනීම පහසු වන්නේ යැයිද කිව නොහැක. එය තවත් අරාබි වසන්තයක උදාවක් වීමට බෙහෙවින් ඉඩකඩ  පවතී.

සටහන - මහින්ද හත්තක
හිලරි ක්ලින්ටන් මොහොමඞ් මුරුසායි අහමඞ් ෂෆීක් ඡන්ද මධ්‍යස්ථානයක් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලවලට එරෙහිව විරෝධතාවක්



අදහස් (0)

ඊජිප්තුවට යළි ‘මුබාරක් සමය’

ඩග්ලස් Monday, 04 June 2012 04:30 AM

අපේ ලංකාවේ ආණ්ඩු මාරු කරන්න ඉන්න අයට හොද පාඩමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහු අවසන් වරට බයිඩන් හමුවෙයි
2024 ජුලි මස 26 105 0

වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.


කමලා හැරිස්ගෙන් නෙදන්යාහුට තර්ජනයක්
2024 ජුලි මස 26 229 0

ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල


ට්‍රම්ප් කමලාට වඩා ඉදිරියෙන්
2024 ජුලි මස 26 170 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වත්මන් උ


යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා
2024 ජුලි මස 26 3265 0

රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැව


ඉන්දියාවත් ලිබියාවත් අතර සබඳතා ඇරැඹේ
2024 ජුලි මස 25 87 0

වසර පහක විරාමයකින් පසු ඉන්දියාවත් ලිපියාවත් අතර යලිත් වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ ඉන්දියාව, යළිත්


අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළෙයි
2024 ජුලි මස 25 92 0

බටහිර අප්‍රිකාවේ වෙරළේ මොරිෂානියාවට ඔබ්බෙන් මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත් විය. එයින් 15 දෙනෙකු මියගිය බවත්, 150 කට වැඩි පිරිස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site