ඉරාකයේ සහ සිරියාවේ සිටින ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ. 

එම ගුවන් ප්‍රහාර සාර්ථක බවත් අවශ්‍ය වුවහොත් අමතර ක්‍රියාමාර්ග ගන්නා බවත් එම බලධාරීහු පැවැසූහ.

මැද පෙරදිග කලාපයේ ඇමෙරිකානු අභිලාෂ ආරක්ෂා කිරීමට ඉදිරි පියවර ගන්නා බව ද ඔවුහු කීහ. 

ඉරානයේ සහාය ලබන කටායිබ් හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු හමුදා එලෙස ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

රොකට් ප්‍රහාරයකින් ඉරාකයේ හමුදා කඳවුරක සේවය කරමින් සිටි ඇමෙරිකානු සිවිල් වැසියකු මිය යෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ප්‍රහාර එල්ල කළ බව ද බලධාරීහු පැවැසූහ. 

ජාතික ආරක්ෂක උපදේශකයන් ඇතුළු ඉහළ පෙළේ බලධාරීන් මෙම ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කර ඇත. 


“ඇමෙරිකානු පුරවැසියන් අනතුරේ හෙළන්න අපි ඉරානයට ඉඩ තියන්නේ නැහැ” යැයි ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ ඕ පැවසීය.

රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ ඕ, ආරක්ෂක ලේකම් මයික් එස්පර් සහ ඇමෙරිකානු ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මාර්ක් මිලේ යන අය ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තොරතුරු දැනුම් දී තිබේ.

 

රොයිටර්

(055)