ඉරානයේ ඉකුත් 14 වැනිදා පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට මධ්‍යස්ථමතධාරී හසන් රොහානි සමත් විය.
පරිණත දේශපලනඥයකු, විද්වතකු මෙන්ම ආගමික නායකයකු ද වන රොහානි සියයට 50.70 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගත් බව ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යංශයට සම්බන්ධ එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේය. ඔහු හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 18,613,329 කි.
54 හැවිරිදි රොහානි, මැතිවරණයට පෙර සිටිම ජනතාවට පොරොන්දු වූයේ ‘වෙනසක්’ ඇති කිරීමට තමන් ඇපකැප වී කටයුතු කරන බවය.
විරැකියාවට සහ ආර්ථික ගැටලූවලට පිළියම් ලබා දෙන බවට ද ඔහු පොරොන්දු වී තිබේ. එපමණක් නොව, ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් සමඟ වඩාත් සමීප වී කටයුතු කිරීමට සූදානම් යැයි ද ඔහු පවසා ඇත.
න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානය මේ වනවිට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැසකට යට වී සිටින අතර ඉරාන වැසියෝ ද ඉන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරානය එම න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවත් එය ලෝකයට තර්ජනයක් බවත්ය. එහෙත් ඉරානය පවසන්නේ තමන් එම න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළේ රටේ බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස කියාය.
රොහානිගේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත. වසර 34 ක සිට බිඳ වැටුණු ඇමෙරිකානු ඉරාන සබඳතා ශක්තිමත් කර ගැනීමට නව ජනපති රොහානිට හැකිවනු ඇතැයි ඇමෙරිකාව පවසයි.
රොහානි උපත ලැබුවේ 1948 වසරේ නොවැම්බර් 13 වැනිදාය. ඒ, ඉරානයේ සෙම්නාන් පළාතේ සොර්කේ නගරයේය. රොහානීට ඉංගී‍්‍රසි බස චතුර ලෙස කතා කළ හැකි අතර, අරාබි සහ පර්සියන් භාෂා සම්බන්ධයෙන් ද ඔහු ප‍්‍රවීණයෙකි. ගත්කතුවරයෙකි.
2005 වසර තෙක් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ බටහිර රටවල් අතර මැදහත්කරු ලෙස කටයුතු කළේ ද ඔහුය.
රොහානි ජනතාවට දුන් ඡන්ද පොරොන්දු ඉටු කිරීමට හැකිවේවිදැයි යන්න සැක සහිත යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඊට හේතුව 1979 වසරේ සිදුවූ ඉරාන විප්ලවයෙන් පසු, ඉරානයේ පවතින්නේ ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන ක‍්‍රමවේදයක් වීමය.
උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කොමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලය, ජනපති ධුරය ඉක්මවා ගිය සුපිරි බලතල හිමි වී ඇත.
 ඉරාන ආරක්ෂක අංශයේත්, සන්නද්ධ හමුදාවේත්, බුද්ධි අංශයේත් ප‍්‍රධානියා උත්තරීතර නායකයාය. විදෙස් ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් තීරණ ගන්නේ ද ඔහුය.
ඉරාන ජනපති යනු රටේ දෙවැනි උසස්ම නිලධාරියා වන අතර, ආර්ථික ප‍්‍රතිපත්ති සකස් කරන්නේ ඔහුය.
ජනපති ධුරය සඳහා තරග වැදීමට නම්, අපේක්ෂකයන්ට එම උත්තරීතර පාලක මණ්ඩලයේ ද අනුමැතිය හිමි විය යුතුය.
ඉරානයේ දේශපාලනය මෙන්ම මැතිවරණ ද ප‍්‍රධාන වශයෙන් පවතින්නේ ප‍්‍රතිසංස්කරණවාදීන් හා දැඩි මතධාරීන් අතර සටනක් ලෙසය. නමුත් මෙවර මධ්‍යස්ථමතධාරී රොහානී එම සම්ප‍්‍රදාය වෙනස් කිරීමට සමත් විය.
මෙවර ජනාධිපතිවරණයට දහසකට වැඩි අපේක්ෂකයන් පිරිසක් නාම යෝජනා ඉදිරිපත් කළ නමුත්, අවසානයේ දී උත්තරීතර පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේ අපේක්ෂකයන් අට දෙනකුට පමණි. පසුව එය සය දෙනකු තෙක් අඩු විය. ඒ අතරින් ඉදිරියෙන් සිටියේ රොහානී, මොහොමඞ් බගේර් ගලීබාෆ් සහ සහීඞ් ජලීල්ය.
මොහොමඞ් බගේර් ගලීබාෆ්, ටෙහෙරාන් නුවර පුරපතිවරයාය. 51 හැවිරිදි ඔහු හිටපු පොලිස්පතිවරයකු ද වෙයි. වත්මන් ජනපති අහමදිනෙජාද්ගේ සමීපතම මිතුරා ඔහුය. දෙවැනි ස්ථානයට පත් වූ ඔහු හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 6,077,292 කි. බොහෝ දෙනා සිතුවේ ගලීබාෆ් ජයග‍්‍රහණය කරනු ඇති බවය.
ජලීල්ද ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ බටහිර රටවල් අතර මැදහත්කරු ලෙස කටයුතු කළ අයෙකි. දැඩිමතධාරි ජලීල්, ඡුන්ද 4,168,946 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයට පත්වූයේය.
ඉරාන ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් ධුර කාල දෙකක් එනම් වසර 8 ක් ජනපති ධුරය හොබවා ඇති අතර හෙයින් මෙම ජනපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබිණි.
හසන් රොහානීට සුබ පතමින් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඊයේ (16* වැඩිදුරටත් කියා සිටියේ නිවැරදි තීරණ ගැනීමට රොහානි සමත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද පවසා ඇත්තේ සෙසු ලෝක ප‍්‍රජාව සහ ඉරානය අතර පවතින මතභේද දුරු කරළීමට රොහානි සමත් වනු ඇතැයි කියාය.
ඉරාන උත්තරීතර නායක කොමේනී, වත්මන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් සහ ජනපතිවරණයට ඉදිරිපත් වූ සෙසු අපේකසකයන් ද රොහානිට සුබ පතා ඇත.