ඊශ‍්‍රායෙලයේ අධි ආරක්ෂිත කලාපයන්හි ඡායාරූප තමන් සතුව ඇතැයි ඉරානය කියයි. මේ ඡායාරූප ඔවුන් ලබාගෙන ඇත්තේ නියමුවකු රහිතව හැසිරවිය හැකි ඩ්‍රෝන යානයක් ආධාරයෙනි. ඩ්‍රෝන යානය ඊශ‍්‍රායෙල ආරක්ෂක අංශවල ප‍්‍රහාරයට ලක්ව විනාශවීමට පෙර එයින් සම්පේ‍්‍රෂණය කළ මේ ඡයාරූප ලබාගත හැකිවි යැයි ඉරාන ආරක්ෂක අංශ පවසයි. තමන්ගේම ඩ්‍රෝන යානයක් නිපදවීමට අවශ්‍ය තාක්ෂණ දැනුම ඉරානය ලබාගෙන ඇත්තේ අල්ලාගත් ඇමරිකා ඩ්‍රෝන යානයක් ආශ‍්‍රයෙන් බව සදහන් වෙයි. තමන්ගේ ගුවන් සීමාව ආක‍්‍රමණය කළ ඩ්‍රෝන යානයකට පහරදී විනාශ කළ බව ඊශ‍්‍රායෙලයද පිළිගෙන තිබේ. ඊශ‍්‍රායෙලය ඉරානයෙට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරයි.ඒ ඉරානයේ ක‍්‍රියාත්මක වන න්‍යෂ්ඨික වැඩසටහන නිසාය.ඊශ‍්‍රායෙලයට අනුව ඉරානය සිය සැබෑ අරමුණු සගවාගෙන සිටී. ඉරානයට දැනට පනවා ඇති සම්බාධක හා සිදු කෙරෙන සාකච්ඡා නිසාවත් ඉරානය සිය න්‍යෂ්ඨික වැඩපිළිවෙළේ සැබෑ තොරතුරු අන් රටවල් සමග හුවමාරු කර නොගන්නේ නම් ඉරානයට පහර දෙන බවට ඊශ‍්‍රායෙලය දැනටමත් අනතුරු අගවා ඇත.   (කො.වී)